ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් හදනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – කිසිඳු බලවේගයකට පාගා දැමිය නොහැකි අන්දමේ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් නිර්මාණය කිරීම තම උත්සාහය බව අභිනව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අගමැති වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කෙළේ ඊයේ(16) දිවුරුම් දීමෙන් පසු ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමිනි.

අනාගත පරම්පරාවට බියෙන් තොරව හිස කෙලින් තබාගෙන නිදහසේ ජීවත්විය හැකි අභිමානවත් සමාජයක් උරුම කර දිය හැක්කේ මහජන මතයට සවන් දෙන, සියල්ලන්ගේම අයිතීන් රැක දෙන ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් ඔස්සේ පමණක් බව සඳහන් කරන අගමැති වික්‍රමසිංහ මහතා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරලීමේ පුළුල් සන්ධානයක් පිහිටුවන බවත් සඳහන් කෙළේය.

සිය හදවත ඉල්ලා සිටින්නේ එවැනි ශ්‍රී ලංකාවක් බව කී අගමැතිවරයා අන් අයගේ හදවත් ඉල්ලා සිටින්නේත් එවැනි ශ්‍රී ලංකාවක් බවද කීය.

ඒ නිසා අනෙක් සියලු භේද පසෙක ලා අපේ මාතෘ භූමිය වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, ජනතා අයතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන්, නූපන් පරම්පරාවට නිදහස් රටක් උරුම කර දීම වෙනුවෙන් මේ පුළුල් සන්ධානය හා අත්වැල් බැඳ ගන්නා ලෙස සැමගෙන් ඉල්ලා සිටින බවද අගමැති වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × four =