ජනපතිගෙන් සිතාරයක්

(කොළඹ, ලංකාපුවත්) –සෞන්දර්ය ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාම තම එකම සිහිනය කරගත් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ප්‍රබෝධි ළහිරුණි සිසුවියගේ අහිංසක අපේක්ෂාවක් ඊයේ (18) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉටු කර දුන්නා.

උසස් පෙළ විභාගය හදාරා සෞන්දර්ය විද්‍යාපීඨයට ඇතුළත්ව එම අංශයෙන් ඉදිරියටම යාම ප්‍රබෝධි ළහිරුණි සිසුවියගේ අපේක්ෂාව වන අතර, ඒ වෙනුවෙන් සංගීතය තෝරාගත් ළහිරුණි සිය ප්‍රධාන වාදන භාණ්ඩය ලෙස සිතාරය තෝරා ගත්තා.

ආර්ථීක අපහසුතා රැසක් මැද දිවි ගෙවන මෙම සිසුවියගේ දෙමාපියන්ට ඇයට එම වාදන භාණ්ඩය මිලදී ගෙන දීමට තරම් හැකියාවක් නොතිබීම හේතුවෙන් දැරිය දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටියා.

ඉකුත් දෙසැම්බර් 08 වනදා ජනාධිපතිතුමා පොළොන්නරුව, ගණන්ගොල්ල ප්‍රදේශයට ගියේ තවත් එවැනිම සිසුවෙකු වූ ශාලික ලක්ෂාන් සිසුවාගේ නව නිවසක සිහිනය ඉටුකර දීමටයි.

එම නිවසින් නික්ම යන ජනාධිපතිතුමා අසලට ප්‍රබෝධා ළහිරුණි දැරිය ද සමීප වූයේ කවදත් දැයේ දරුවන්ට ආදරණීය පියෙකු වූ ජනාධිපතිතුමා තම අහිංසක ඉල්ලීම ද ඉටුකර දෙන බවට ඇය තුළ වූ මහගු විශ්වාසය නිසාමයි.

සැබෑ පිය සෙනෙහසින් දැරියගේ ඉල්ලීමට ඇහුම්කන් දුන් ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමා එම ඉල්ලීම කඩිනමින් ඉටුකර දෙන බවට එහි දී දැරියට සහතික වුණා.

දින කිහිපයක් ඉක්ම යාමට මත්තෙන් දැරියගේ ඉල්ලීම ඉටුකරදීමට ජනාධිපතිතුමා කටයුතු කළ අතර, අද පෙරවරුවේ සිය දෙමාපියන් සමග ජනාධිපති කාර්යාලයට පැමිණි ප්‍රබෝධා ළහිරුණි තම සිතාරය ජනාධිපතිතුමා අතින් ලබා ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *