මහවැලි කලාපවල අතිරේක ආහාර බෝග වගාව ප‍්‍රවර්ධනයට පුළුල් වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරි යල කන්නයේ දී මහවැලි කලාපවල වී නිෂ්පාදනයට සමගාමීව අතිරේක ආහාර බෝග වගාව ප‍්‍රවර්ධනය කිරීම සඳහා පුළුල් වැඩසටහනක් කි‍්‍රයාවට නංවන ලෙස ජනාධිපතිතුමා මහවැලි නිලධාරින්ට උපදෙස් දෙයි.

මහවැලි කලාප මිරිස් වගාව ඇතුළු අතිරේක ආහාර බෝගවලින් සශ‍්‍රිකව පැවතිය ද අද වන විට එම වගාවන් විනාශ වී තිබෙන අතර අධික පිරිවැයක් දරමින් එම නිෂ්පාදන පිටරටින් ගෙන්වීමට සිදුව ඇති බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

එබැවින් රටේ ජාතික ආහාර නිෂ්පාදනය සඳහා පුළුල් දායකත්වයක් දැක්විය හැකි පරිදි මහවැලි කලාප අස්වැද්දීමට නව කෘෂි වැඩසටහන් කි‍්‍රයාවට නංවන ලෙස ද ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ අභ්‍යන්තර උසස්වීම්වලට අදාළ පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට ඊයේ(18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක් වෙමිනි.

දේශීයව වගා කළ හැකි ආහාර බෝග හැකි තරම් වගා කිරීම මගින් ආනයනය සීමා කිරීම හා දැරීමට සිදුවන විශාල පිරිවැය කෘෂිකර්මාන්තය නැංවීමට යොදා ගැනීමට හැකිවන අතර එය රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පිටිවහලක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

වසර ගණනාවක් පුරා පැවති නියං තත්ත්වය පහව ගොස් ලැබී ඇති වැසි සමය ආශිර්වාදයක් කර ගනිමින් රට පුරා කෘෂිකාර්මික ව්‍යාපෘති නව ජවයකින් සහ ප‍්‍රබෝධයකින් කි‍්‍රයාවට නැංවිය යුතු බවට ද ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් දුන්නේය.

එමෙන්ම මහවැලි ජනපදිකයන්ට ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන කඩිනමින් අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමා නිලධාරින්ට දැනුම් දෙනු ලැබීය.

මහවැලි ව්‍යාපාරය යටතේ නව ගොවිබිම් ලද මහවැලි ජනපදිකයින් අතරින් ඒවායේ නිරවුල් ඔප්පු ලැබී තිබුණේ අතළොස්සකට පමණි. මහවැලි ජනපදිකයන් දිගුකලක් තිස්සේ මුුහුණ පා සිටි ගැටලුවකට විසදුම් ලබාදෙමින් සියලු මහවැලි ජනපදිකයන්ට ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන 2016 වසරේ දී ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් ආරම්භ කෙරිණි.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඞී.එම්.එස්. දිසානායක යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *