නව පාසල් වාරය ආරම්භ කිරීමට පෙර සියලුම පාසල්වල ඩෙංගු මර්ධන වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) –ලබන වසරේ නව පාසල් වාරය ආරම්භ වීමට පෙර දිවයිනේ සියලුම පාසල් සහ අධ්‍යාපන ආයතනයන්හි මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

ලබන 30 සහ 31 දෙදින ඒ සඳහා වෙන්කරන ලෙසට සියලුම විදුහල්පතිවරුන්, ඇතුළු පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කර ඇත.

ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක් පවතින බැවින් දෙමාපියන් හා එක්ව මෙම කටයුත්ත සිදුකරන ලෙස එම අමාත්‍යංශය පවසනු ලැබේ.

එසේම පසුගිය දිනවල බස්නාහිර පළාත තුල ඩෙංගු මර්දන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් පසුගිය දිනවල පැවැත්විණ. එහි දී නිවාස, පාසල්, වැඩබිම්, ආයතන, කර්මාන්ත ශාලා, ආගමික ස්ථාන, පොදු ස්ථාන ඇතුළු පරිශ්‍ර 60,000ක් පමණ නිරීක්ෂණයට ලක් කෙරිණ. එහි දී පරිශ්‍ර 12,500ක පමණ මදුරුවන් බෝවීමට හැකියාව ඇති අවදානම් ස්ථාන සහිත බව හඳුනා ගැනිණ.

මදුරු කීටයන් සහිත පරිශ්‍ර 1,300ක් මෙහි දී හමුවිය. ඉදිකිරීම් පරිශ්‍ර, ආගමික ස්ථාන හා පාසල් ආශ්‍රිතව මදුරුවන් බෝවීමට හැකියාව ඇති අවදානම් ස්ථාන සුලබ බව මෙහි දී හඳුනා ගැනිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *