රටේ අභ්‍යන්තර මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමේ ශක්තිමත් වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල මත්ස්‍ය පරි‍භෝජනය තවමත් ජනතාවගේ පෝෂණ මට්ටම සපුරාලීමට තරම් ඉහළ මට්ටමක නොපවතින හෙයින් ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය ඉහළ නැංවීමට රටේ අභ්‍යන්තර මත්ස්‍ය නිෂ්පාදන මට්ටම ඉහළ නැංවීම සදහා පියවර ගත යුතුව ඇතැයි අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, ඊයේ ( 26) ධීවර අමාත්‍යාංශයේ නිලධාරින් සමග පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමිනි. එම අවස්ථාවට ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන හේෂා විතාන , චමින්ද විජේසිරි යන මහත්වරුද අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා – අපේ රටේ අභ්‍යන්තර ජලාශ 12000ක් ඇතුළු කුඩා වැව් 27000ක් පමණ තිබෙනවා.මෙම ජලාශවල මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීම මගින් දේශීය මත්ස්‍ය පරිභෝජනය ඉහළ නැංවීමට පිළිවන්. අපි දන්නවා අපේ රට වටේම මහමුහුද තිබෙනවා. විශාල මුහුදු කළාපයක් අපිට තිබුනත්, තවමත් අපේ රටට අවශ්‍ය මත්ස්‍ය නිෂ්පාදනය අපේ රටේම නිපදවා ගන්නට නොහැකි වී තිබෙන්නේ අපේ මුහුදු කළාපය ඉතාමත් ගැඹුරුයි. ඒ නිසා මසුන් බෝවීම අඩුයි.

නමුත් අපේ අභ්‍යන්තර ජලාශවල මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර ගතහොත් අලුත්ම මසුන් අපේ රටේ ජනතාවට පරිභෝජනය කිරීමට හැකිවෙනවා. මට දැනගන්නට ලැබුණු කරුණු අනුව සාමාන්‍යෙයන් එක පුද්ගලයෙක් වසරකට මාළු කිලෝ ග්‍රෑම් 46ක්වත් පරිභෝජනය කළ යුතුයි. නමුත් අපේ රටේ මධ්‍යම කදුකරයේ ජනතාව ගත්තොත් වාර්ෂික මත්ස්‍ය පරිභෝජනය කිලෝ 12ක් වත් නැහැ. මේ නිසා මත්ස්‍ය පරිභෝජනය මගින් ලබා ගත හැකි පෝෂණය අපේ රටේ ඇතැම් ප්‍ර දේශවල ජනතාවට ලැබෙන්නේ නැහැ. එමනිසා ධීවර අමාත්‍යාංශය වශයෙන් අපිට විශාල වගකීමක් තිබෙනවා ඉදිරි කාලය තුළ සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමට. මම අමාත්‍යවරයා වශයෙන් ඊට අවශ්‍ය නායකත්වය ලබා දෙනවා.

වර්තමානයේ අපේ රටේ බහුලවම පරිභෝජනය කරන ආහාරයක් වී තිබෙන්නේ කුකුල් මස්. ඒකට හේතුව තමයි අලුත් මාලු මිල දී ගැනීමට නොහැකිකම මෙන්ම, කුකුල් මස් කිලෝවක් මාළු කිලෝවකට වඩා මිල අඩු වීම. එමනිසා මහජනතාවට කිසියම් අවම මිලකට ගුණාත්මකභාවයෙන් ඉහළ මාලු මිල දී ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුයි.

ඒ වගේම මම නිලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ අපේ රටේ දේශීය මත්ස්‍ය නිෂෟපාදනය ඉහළ නැංවීම සදහා අවශ්‍ය වැඩ පිළීවෙළ කඩිනම් කරන ලෙසයි. ඒ වගේම තමයි මත්ස්‍ය අපනයනය ඉහළ නැංවීම. අපි රජයක් වශයෙන් සාමුහිකව කටයුතු කළ නිසා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලයේ අපේ මත්ස්‍ය අපනයනයට යුරෝපා සංගමය විසින් දමා තිබු අපනයන තහංචිය පවා ඉවත් කර ගැනීමට හැකි වුනේ. 2015 වන විට වසරක් තුළ අපිට අහිමි වු මුදල රු. කෝටි 1600ක්.

නමුත් අපි රජය පිහිටුවා ගත්තාට පස්සේ අපි දන්නවා මත්ස්‍ය අපනයනය සියයට 44කින් ඉහළ නංවාගැනීමට අපිට හැකි වුනා. මගේ අපේක්ෂාව තමයි මෙම තත්ත්වය තවත් වර්ධනය කර ගැනීම යැයිද අමාත්‍යවරයා මෙහිදී කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *