31 රාත්‍රියේ දී අනතුරු ගැන අවධානයෙන් සිටින්න

(කොළඹ, ලංකාපුවත්) – දෙසැම්බර් 31 රාත්‍රියේ අනතුරු වළක්වා ගැනීමට අවධානය යොමු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ අනතුරු නිවාරණ අංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලැබේ.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පෙන්වා දෙනුයේ සෑම වසරකම දෙසැම්බර් 31වන දින රිය අනතුරු, රතිඤ්ඤා ඇතුළු ගිණිකෙලි නිසා සිදුවන අනතුරු, බීමත්ව කල කෝලහාල කරගැනීම නිසා සිදුවන අනතුරු බහුල වශයෙන් වාර්තාවන බවය.

බීමත්ව රිය පැදවීම මාර්ග නීති නොතකා රිය පැදවීම, බීමත්බව, අපරික්‍ෂාකාරී ගිණිකෙළි භාවිතය සහ වැඩිහිටියන්ගේ අනුදැනුම නොමැතිව දරුවන් ගිණිකෙළි දැල්වීම ආදිය අනතුරු සිදුවීමට ප්‍රධාන හේතු බව වෛද්‍ය සිරිතුංග මහතා පවසයි.

අනතුරුවලට ගොදුරුවන්නන්ගෙන් බහුතරයක් ඵලදායී වයස් සීමාවට අයත් වන අතර වයස අවුරුදු 15 සහ 44 අතර එම වයස් සීමාව තුළ සිදුවන මරණ වලට ප්‍රධාන හේතුව වන්නේ ද අනතුරුය. එසේම රෝහල්වල සිදුවන මරණ අතුරින් 10වැනි ස්ථානය ගනු ලබන්නේ ද අනතුරුය.

එසේම දැනුවත්ව සහ නොදැනුවත්ව සිදුවන අනතුරු නිසා දළ වශයෙන් සෑම වසරකම ශ්‍රී ලාංකිකයින් 10,000කගේ පමණ ජීවිත අප රටට අහිමි වේ. එහිදී නොදැනුවත්ව සිදුවන අනතුරු නිසා වන අනතුරු අතර මාර්ග අනතුරු ප්‍රධාන ස්ථානයක් ගන්නා අතර ඒ හේතුවෙන් වසරකට ජීවිත 3000ක් පමණ අහිමි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *