මෙරට ඩිජිටල් යටිතල පහසුකම් යායුතු දුර බෝහෝයි – ICTA සභාපති

(කොළඹ, ලංකාපුවත්) – ඉහළ ගුණාත්මක මට්ටමේ ඩිජිටල් යටිතල පහසුකම් ලබා ගැනීමෙහි ලා ශ්‍රී ලංකාව විශාල ප්‍රගතියක් ලබා ඇතත් තව යායුතු දුර බෝහෝ බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා පවසයි.

රොහාන් සමරජීව මහතා මෙම අදහස් පළ කළේ ඩිජිටල් තාක්ෂණික විශිෂ්ටතා ඇගයීමට ලක් කෙරෙන මෙරට ප්‍රමුඛතම සම්මාන උළෙල වන SLT ZERO ONE AWARDS 2018 සම්මාන උළෙලේදී යාවජීව සාර්ථකත්ව සම්මානයෙන්( Life Time Achievement Award) පිදුම් ලැබීම ගැන අදහස් දක්වමිණි.

ප්‍රතිපත්ති සම්පාදකයෙක් හා ශ්‍රී ලාංකිකයින් සදහා වියදම් අඩු ඉතා උසස් තත්වයේ ඩිජිටල් යටිතල පහසුකම් ප්‍රවේශ කිරීම වෙනුවෙන් කරන ලද මෙහෙවර අගයමින් සම්මානය පිරිනමන ලද බව යාවජීව සාර්ථකත්ව සම්මාන හේතු පාඨයේ සදහන්වේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රොහාන් සමරජීව මහතා;

2016 වර්ෂයේදී නිකුත් කරන ලද ගෘහස්ථ ආදායම් හා වියදම් සමීක්ෂණය අනුව මෙරට ගෘහ ඒකක වලින් සියයට 88.2ක් අවම වශයෙන් එක ජංගම දුරකථනය බැගින් භාවිත කරන බව අනාවරණය කර තිබෙනවා.එම සමීක්ෂණයට අනුව ගෘහස්ථ රූපවාහිනී භාවිතය සියයට 86.1 බව සදහන් කර තිබෙනවා .ඒකියන්නේ රූපවාහිනිය දෙවැනි ස්ථානයට පත්ව තිබෙනවා.

මෙයට වසර තිස් පහකට පමණ පෙර එනම් 1980 වර්ෂයේදී පමණ මා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්තිය සකස් කිරීමට කටයුතු කළා.එවකට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කළමණාකර අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළේ පී.කේ.වික්‍රමාරච්චි මහතායි.ඒ වන විට ශ්‍රී ලංකාවේ සමස්ථ දුරකථන සංඛ්‍යාව 82000යි.ඍජු හුවමාරු ගණන 93000යි.ටෙලෙක්ස් සම්බන්ධතා 900යි.

එසේම එකල බෝහෝ දුරකථන තිබුණේ රජයේ කාර්යාල වල නැතිනම් පොහොසත් ගෙදරක එහෙමත් නැතිනම් ජේෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක් වෙන්න ඕනෙ.මගේ කුඩා කාලයේදී මගේ ගෙදරත් දුරකථනයක් තිබුණේ නැහැ.‍ අද වන විට ශ්‍රී ලාංකිකයින් මිලියන ගණනක් අතිනවීන යෙදවුම් සහ සේවාවන් භාවිතා කරනවා.

කෙසේ වෙතත් මේ සියලු වෙනස්කම් වලට බෝහෝ දෙනා දායක වුණා.දේශපාලනඥයින් ආයෝජකයින් රාජ්‍ය නිලධාරීන් නවෝත්පාදකයින් ඒවාගේම ලෝක බැංකුවත් මේ අතර වෙනවා.

මා ලර්න් ඒෂීයා ආයතන ආරම්භ කිරීමෙන් පසු 2004 වර්ෂයේ සිට මේ පිලිඹද පර්යේෂණ සිදුකළා.ඊට සම්බන්ධ වු සියළු දෙනා මෙම සම්මානයේ කොටස් කරුවන් වෙනවා. 2018 අප්‍රේල් සිට මේ දක්වා ICTA ආයතනය සහ මගේ භූමිකාව ගැන සඳහන් නොකරමි. ඉක්බිතිව අප සැලකිය යුතු දේවල් සිදු කළ පසු ICTA හි සිදු කළ දේ ගැන කථා කරන්න අපේක්ෂා කරනවා.

සම්මාන ප්‍රදානය පසුගියදා කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *