ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අද යි

(කොළඹ, ලංකාපුවත්) – ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අදට(04) යෙදී තිබේ.

සෑම වර්ෂයකම අද(04) වැනි දිනට යෙදෙන මෙය ප‍්‍රකාශයට පත්කර ඇත්තේ ළමා හිංසනයට එරෙහිව ක‍්‍රියාත්මක වීම මෙන්ම ළමා පරපුරේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හා ළමා හිතකාමී පරිසරයක් ගොඩ නැඟීම පරමාර්ථ කරගනිමින් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සදහන් කළේය.

දරුවන්ගේ ජීවිත වඩාත් යහමඟට යොමු කළ හැකි ප‍්‍රධාන පුද්ගලයන් වන්නේ දෙමව්පියන්ය බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

එමෙන්ම සමාජයේ සියලු වැඩිහිටියන්ගේද වගකීම වන්නේ ලෝකය බාර ගැනීමට සිටින දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමය.

ලොව සිදුකර ඇති පර්යේෂණයන්ට අනුව ළමයින් වැඩි වශයෙන් හිංසනයට පත්වන්නේ සිය නිවස තුළදීමය.

එමෙන්ම අද වන විට වර්ධනය වන ප‍්‍රවණතාවක් ලෙස අධ්‍යාපනය ලබන පාසල තුළදී ළමයින් හිංසනයට ලක් වන බව අසන්නට දකින්නට ලැබෙන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා පෙන්වා දෙයි.

මෙවැනි ළමා හිංසනයන් තුළින් ළමයින්ගේ අධ්‍යාපන කටයුතු බිඳවැටීමත්, සෞඛ්‍ය හා මානසික තත්වය පිරිහීම තුළින් ඔවුන්ගේ පෞරුෂත්වය බිඳ වැටීමත් සිදුවේ.

මොවුන් පසු කළ සමාජයට වෛර කරන කෲරත්වයෙන් අනෙකා පෙළන සමාජයට අවැඩදායී පුද්ගලයන් බවට පත් විය හැකිය බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා සඳහන් කරයි.

එබැවින් වැඩිහිටියන් ලෙස අප සමාජයේ දරුවන්ව ආදරයෙන් රැකබලා ගැනීම හා ඔවුන්ට ආදර්ශවත් වන ලෙස ජීවත් වීමට වග වියයුතු බව සභාපතිවරයා සඳහන් කළේය.

දරුවකු සිදු කරන වැරැද්දකට ශාරීරිකව දඬුවම් කිරීමට වඩා එම දරුවාට එය වැරැද්දක් බව ආදරයෙන් අවබෝධ කරදීම තුළින් ලැබෙන ප‍්‍රතිඵල වැඩදායක ඒ මහතා සඳහන් කළේය.

එය ධනාත්මක ශික්ෂණ ක‍්‍රමය වන අතර, අප සිදු කළ යුත්තේ දරුවා නිවැරදි කිරීම, අවබෝධ කරදීම, දැනුවත් කිරීම මෙන්ම ඔවුන්ට නිවැරදි මඟ පෙන්වා දීමයි බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා සඳහන් කරයි.

විශේෂයෙන් ළමයින්ගේ අදහස් වලට ගරු කරමින් තීරණ ගැනීමේදී ඒවා ක‍්‍රියාත්මක කිරීමටද වැඩිහිටියන් වශයෙන් අප වග බලාගත යුතුය ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා පෙන්වා දෙයි.

එමෙන්ම, “මගේ දරුවා” යන සිතිවිල්ලෙන් මිදී “දරුවන් අපේ” යන සිතුවිල්ලට අප එළඹියයුතු කාලය පැමිණ ඇති බව දැනේ.

දැයේ දරුවන් ළමා හිංසනය ඇතුලු සියලු අපයෝජනයන්ගෙන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත හෙට දවසක් උරුම කරදීම සඳහා සියලු පාර්ශවයන් එකට එක්ව කටයුතු කළ යුතු බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා විශ්වාස කරයි.

ඒ අනුව මෙරට වැඩිහිටි පුරවැසියන් වන අපි සෑමවිටම ළමයා ළමයෙකු බව වටහා ගනිමින් ඔවුන්ට දයාව කරුණාව හා සැලකිල්ල ආරක්ෂාව හැකි උපරිමයෙන් ලබා දෙමින් ඔවුන්ගේ ලෝකය වඩාත් යහපත් කරලීමටත් ඉන් මනා පෞරුෂයන්ගෙන් හෙබි, අනාගත පුරවැසියන්ගෙන් අභිමානවත් වූ සමාජයක් බිහි කිරීමටත් එක්සත්ව එක්සිත්ව එක්වන මෙන් ගෞරවයෙන් ඔබට ආරාධනා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *