රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව රුපියල් මිලියන 1982ක ලාභ ලබයි – සෞඛ්‍ය ඇමති

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිධූරයට පත් වූ ආචාර්ය එච්.එම්.එම් රූමි මහතා රාජකාරී කටයුතු ආරම්භ කිරීම අද (04) පෙරවරුවේ රාජ්‍ය ඖෂධ සංස්ථා ප්‍රධාන කාර්යාලයේ දී සිදු කෙරිනි. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ද මෙම අවස්ථාවට එක් වූයේය.

එම සංස්ථාවේ නව විධායක අධ්‍යක්ෂ වෛද්‍ය විල්ප්‍රට් කුමාරසිරි මහතා ද රාජකාරී කටයුතු ආරම්භ කිරීම ද මෙහිදී සිදු විය. සර්ව ආගමික වතාවත් වලින් පසු නව සභාපතිවරයා රාජකාරී ආරම්භ කළ අතර, එම අවස්ථාවට එක්වෙමින් සේවකයින් ඇමැතූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවැසීය.

“දින 53 ක දේශපාලන අර්බුදය හේතුවෙන් සෞඛ්‍ය සේවාවට දැඩි අලාභයක් සිදුව තිබෙනවා. එය යළි ගොඩනැංවීමට අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඖෂධවල මිල පාලනය කිරීමට සෘජුව දායකත්වය දක්වනවා. මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ සංකල්පයක් මත බිහි කළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එදා සිට අද දක්වා ජනතාවට සේවය කර තිබෙනවා. මම මෙම සංස්ථාව බාර ගන්නා විට රුපියල් මිලියන 400 ක් වූ ලාභය අද වන විට එය මිලියන 1982 දක්වා වැඩි කර තිබෙනවා. එහි ප්‍රතිලාභ සේවකයින් අතර බෙදාදීමට මම පියවර ගත්තා.

නව සභාපතිවරයා සහ කළමණාකාර අධ්‍යක්ෂවරයාගේ පාලන කාලය තුල දී ආදායම තවත් වැඩි කිරීම ඔවුන්ගේ ඉළක්කයක්. නව සභාපතිවරයා මගේ දේශපාලන ගමනේ දී මෙන්ම දුකේ දී සහ සැපේ දී එකට සිටියා. ඔහුට මෙම තනතුර ලබාදීමට බෙහෙවින්ම බලපෑවේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති නායකයින් කළ ඉල්ලීමක්. වෘත්තීය සමිති නායකයින් මා සමග කළ සාකච්ඡාවක දී ප්‍රකාශ කළා නව සභාපතිවරයාට බලතල ලබාදෙන්න කියලා. ඒ අනුව කළමණාකාර අධ්‍යක්ෂ ධූරයේ සිටි රූම් මහතා සභාපතිධූරයට මම පත් කළා. මේ වන විට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 73 ක මිල පාලනය කර තිබෙනවා. එම සංඛ්‍යාව 100 දක්වා වැඩි කිරීම මගේ අරමුණයි. අසරණ රෝගීන්ට රෝගී සත්කාරක සේවා සදහා අවශ්‍ය ඖෂධ ලබාගැනීමේ අරමුණින් තව තවත් මිල පාලනය කරනවා. සෞඛ්‍ය සේවාව ව්‍යාපාරයක් නොව සේවාවක්.”

මෙම අවස්ථාවට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, වෛද්‍යවරුන් ඇතුලු සංස්ථා සේවකයින් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *