ජනපතිගේ මානසික තත්ත්වය පිළිබඳ පෙත්සම ප්‍රතික්ෂේපයි

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපතිවරයාගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් තක්ෂිලා ලක්මාලි නැමැති කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකාරියක් විසින් ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන මුල් අවස්ථාවකදීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (07) නියෝග කළේය.

කිසිදු ආකාරයක නිසි කරුණු හෝ නීතිමය පදනමකින් තොරව මෙම පෙත්සම ගොනු කර ඇති බැවින් එම පෙත්සම ගොනු කළ පෙත්සම්කාරියට රුපියල් ලක්ෂයක මුදලක් නඩු ගාස්තු ලෙසට රජයට ගෙවන ලෙසට අභියාචනාධිකරණය නියෝග කරන ලදි.

මෙම නියෝගය අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

කොළඹ දිසා අධිකරණයේ අධිකරණ කටයුතු සිදු කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මානසික තත්ත්ත්වය පරික්ෂා කිරීමට පොලිස්පතිවරයාට සහ කොළඹ කොටුව මූලස්ථාන ස්ථානාධිපතිවරයාට මැන්ඩාමූස් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා මීට පෙර අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කරන ලදී.

මෙම පෙත්සම ගොනු කිරීමෙන් පෙත්සම්කාරිය ජනාධිපතිවරයාට අපහාස කිරීම සහ සමස්තයක් ලෙස රටට අපකීර්තියක් ගෙන ඒම අරමුණු කරගෙන ඇති බවට අභියාචනාධිකරණය තීරණය කළේය.

තවද මානසික රෝගවලට අදාල පනත යටතේ කටයුතු කිරීමට නම් පොලිසිය වෙත මානසික ආබාධ සම්බන්ධයෙන් පොලිස් පැමිණිලි ඉදිරිපත් කළ යුතු බවත් මෙම පෙත්සමට අදාළව එවැනි වාර්තා කිසිවක් ඉදිරිපත් වී නොමැති බව අභියාචනාධිකරණය නිගමනය කරන ලදි.

මෙම පෙත්සම සම්බන්ධයෙන් නීතිපතිවරයා සහ එක්සත් ජනතා නිදහස් සංවිධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා විරෝධතා ඉදිරිපත් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *