නීතිවිරෝධී දුම්වැටි නිසා වාර්ෂිකව රජයට අහිමි වන ආදායම බිලියන 18ක්

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ආචාර්යවරුන් තිදෙනෙකු විසින් මෙරට නීතිවිරෝධී දුම්වැටි ජාවාරම සම්බන්ධයෙන් සිදුකරන ලද පර්යේෂණයක වාර්තාව,ඊයේ(07) ශ‍්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ සනාතන සභා ශාලාවේදී එළිදක්වන ලදි.

”ශ‍්‍රී ලංකාවේ නීතිවිරෝධී දුම්වැටි ජාවාරම හා එමඟින් අහිමි වන බදු මුදල් පිළිබඳ පදනම් අධ්‍යනය” (A Baseline Study on the Illicit Cigarette Market and the Resulting Tax Implications for Sri Lanka) ලෙස නම්කර ඇති මෙම වාර්තාව, ආචාර්ය එස්. එන්. මොරායස්, මහාචාර්ය එස්. එස්. කොළඹගේ සහ ආචාර්ය සී. එන්. රත්නායක යන විද්වතුන් විසින් සිදුකරන ලද පර්යේෂණයක් ඇසුරින් පිළියෙල කර ඇත. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට දීර්ඝ කාලයක් පටන් අහිතකර බලපෑම් එල්ල කරන නීතිවිරෝධී දුම්වැටි ජාවාරම සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොවූ තොරතුරු රාශියක් මෙමගින් අනාවරණය කර තිබේ.

තාක්ෂණයේ දියුණුව, සන්නිවේදන ජාල පුළුල් වීම සහ ගෝලීයකරණය වැනි සාධක, ලොව පුරා නීතිවිරෝධී ජාවාරම් වලට රුකුලක් වී ඇති බව මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත. මේ අතරින් වේගයෙන් වර්ධනය වන නීතිවිරෝධී දුම්වැටි ජාවාරම පාලනය කිරීම සඳහා කඩිනමින් පියවර නොගතහොත් එය බරපතළ ප‍්‍රතිවිපාක ඇතිකරනු නිසැක ය. ශ‍්‍රී ලංකාව තුළට මෙලෙස නීතිවිරෝධී දුම්වැටි පැමිණීම පාලනය කිරීම සඳහා බලධාරීන් කොතෙකුත් පියවර ගත්තද, එ් පිළිබඳව පර්යේෂණ පදනම් කරගත් නිවැරදි තොරතුරු මෙතෙක් නොපැවතීම හේතුවෙන් එම උත්සාහයන්ට පිටුබලය සැපයෙන ආකාරයට නීතිරීති සම්පාදනය කිරීම සඳහා ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට අවස්ථාව නොලැබිණි. මෙම අඩුපාඩුව හඳුනාගනිමින්, මෙම විද්වතුන් මෙරට නීතිවිරෝධී දුම්වැටි ජාවාරම මැඩලීම සඳහා අවශ්‍ය තොරතුරු සම්පාදනය කිරීමේ අරමුණ ඇතිව මෙම පර්යේෂණය සිදුකර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවෙහි [WHO Framework Convention on Tobacco Control (FCTC)] 1 වන උප කොටසෙහි ‘නීතිවිරෝධී දුම්වැටි ජාවාරම’ යන්න අර්ථ දක්වා ඇත්තේ ‘නීතිවිරෝධී දුම්වැටි නිපදවීම, නැව්ගත කිරීම, ලබාගැනීම, ළඟ තබාගැනීම, බෙදාහැරීම, විකිණීම හෝ මිලදීගැනීම සහ මෙම ක‍්‍රියාකාරකම් වලට සහය වීම අරමුණු කරගත් ඕනෑම පරිචයක් හෝ ක‍්‍රියාවක් වශයෙනි. මෙම රහසිගත හා විනාශකාරී කර්මාන්තය පිළිබඳව සැඟවී පැවතුණු තොරතුරු අනාවරණය කරගැනීමේ අරමුණින් ක‍්‍රියාවට නංවන ලද මෙම පර්යේෂණය, මෙරට නීතිවිරෝධී දුම්වැටි ජාවාරමේ ව්‍යාප්තිය හඳුනාගනිමින් එමගින් රජයට අහිමිවන බදු ආදායම ඇස්තමේන්තුගත කරයි.

ක්ෂේත‍්‍ර සමීක්ෂණ මගින් එක්රැුස් කරගත් භෞතික සාක්ෂි වලට අමතරව සම්මුඛ සාකච්ඡුා සහ පාරිභෝගික සමීක්ෂණ භාවිතා කරමින් මෙම ස්වාධීන අධ්‍යයනය සිදුකර තිබේ. මෙහි සොයාගැනීම් අනුව, 2018 වසරේදී නීතිවිරෝධී දුම්වැටි මිලියන 583 ක් පමණ ශ‍්‍රී ලංකාවට ඇතුළු වී ඇත. මෙය ශ‍්‍රී ලංකාවේ සමස්ත දුම්කොළ නිෂ්පාදන වෙළඳපොළෙන් 15.57% කි. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස, 2018 වසර තුළදී පමණක් ශ‍්‍රී ලංකා රජයට රු. බිලියන 17.98 ක් තරම් දැවැන්ත බදු ආදායමක් අහිමි වී ඇති බව මෙම අධ්‍යයන වාර්තාව පෙන්වා දෙයි. නීතිය ක‍්‍රියාත්මක කිරීමේ අංශ වල යටිතල පහසුකම් සහ මානව සම්පත් ප‍්‍රමාණවත් නොවීම, ජාවාරම් මගින් අධික ලෙස ලාභ ලැබිය හැකි වීම සහ ඒවා සඳහා අයකෙරෙන දඩ මුදල් ආදිය අවම මට්ටමක පැවතීම නිසා ජාවාරම්කරුවන් දිගින් දිගටම නීතිවිරෝධී කටයුතු වල යෙදීමෙට පෙළඹෙන බව මෙහි වැඩිදුරටත් පෙන්වා දී ඇත. රටට සිදුවන අධික පාඩුවට අමතරව, වේගයෙන් වර්ධනය වන නීතිවිරෝධී දුම්වැටි වෙළඳපොළ නිසා රජයේ දුම්කොළ පාලන ප‍්‍රතිපත්ති වලටද ඍණාත්මක බලපෑම් එල්ලවන බව මෙම වාර්තාව අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *