අපි කිසිසේත් රටේ ජනතාවට විරුද්ධව කටයුතු කරන්නේ නැහැ – ඇමති රවී

(කොළඹ, ලංකාපුවත්) –විපක්ෂයේ කොටසක් අන්තවාදය විකුණන්න හැදුවට අපි කිසිසේත් මේ රටේ ජනතාවට විරුද්ධව කටයුතු කරන්නේ නැතැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහාත අවධාරණය කරයි.

“ලලිත් ඇතුලත්මුදලි මහතා එදා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන ආරම්භ කරලා ඒ වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙව්වා. නමුත් තවත් ඒ සටන දිනලා නැහැ. එතුමාගේ ගෝලයින් වශයෙන් අපිත් අද ඒ සටන දියත් කරනවා. මේ රටට විධායක ජනාධිපති ක්‍රමය සුදුසු නැහැ ” යැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.

2018 වසරේ මාර්තු මස දිගන ප්‍රදේශයේ ඇතිවූ යම් කලහකාරී තත්ත්වයක් හේතුවෙන් විපතට පත් සිංහල සහ මුස්ලිම් පවුල් වෙනුවෙන් මූල්‍ය ආධාර ලබාදීමේ අවස්ථාවකට එක්වෙමින් අද (08) පෙරවරුවේ ඒ මහතා මෙම අදහස් පළකළේය.

මෙහිදී අදහස් දැක්වූ කරුණානායක මහතා ..,

“2018 මාර්තු මාසයේ දිගන ප්‍රදේශයේ ගැටළුවක් ඇති වුණා. එහිදී අපේ සිංහල සහ මුස්ලිම් පවුල් වලට හානි සිදුවුණා. ඒ අවස්ථාවේ මම පොරොන්දුවක් වුණා රජයෙන් වන්දි මුදල් ලැබෙන තෙක් රැකවරණයක් ලබාදෙනවා කියලා. අද මේ ඉටු කරන්නේ ඒ පොරොන්දුවයි. නමුත් මම මේ අවස්ථාවේ මතක් කරන්නේ ඒ නැති වූ ජීවිතවල වටිනාකම මුදලින් මිල කරන්න බැහැ කියල. හැකි ඉක්මණින් රජයෙන් ලැබිය යුතු වන්දි මුදල් ලබාදීලා මේ අයගේ ජීවිත සුරක්ෂිත කරන්න සැලසුම් කරලා තිබෙනවා.”

මාධ්‍ය විසින් නගන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා..,

“පාර්ලිමේන්තුවේ බහුතරයක් සිටින පත්ෂයකට තවත් පක්ෂයක් සමග ඒකාබද්ධවී ජාතික ආණ්ඩුවක ස්වරූපයෙන් කටයුතු කළ හැකියි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් වශයෙන් ක්‍රියා කරනවා. එය තවත් පුළුල් කිරිමක් පමණයි තිබෙන්නේ. මේ අවස්ථාවේ වල්මත් වෙලා තනතුරුදීම නෙමෙයි කරන්න ඕන. අපි සියළුදෙනාම පක්ෂ භේදයකන් තොරව එකතු වෙලා සාමූහිකව කටයුතු කරන්නයි ඕන. ඒවගේම වැදගත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ටත් නැවත අවස්ථාවක් ලබාදෙන්න ඕන ජනතාවට සේවය කරන්න. එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අර්බුධයක් නැහැ.

වේදිකා හදන අය නෙමෙයි වේදිකාවල නටන්නේ. ඒකෙ වරදක් නැහැ. තවමත් විපක්ෂ නායක සම්බන්ධන් මැතිතුමා බව කතානායකතුමා කිව්වා. ඇත්තවශයෙන්ම ජනාධිපති සහ විපක්ෂ නායක යන දෙදෙනාම එකම පක්ෂයකින් වෙන්න බැහැ. රටට අහිතකර දෙයක් වෙනවානම්, ආණ්ඩුවේ හෝ වෙවා, විපක්ෂයේ හෝ වේවා එකම ස්ථාවරයක සිටිය යුතුයි. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ ඔප්පු වුණා රාජ්‍ය බැංකු වලින් ණය ගත්තාම අහිතකරයි කියලා. ඒ මෝඩ ක්‍රියාවම අපිත් කළ යුතුයිද. අපි දෙයක් කරද්දි ඒක ලේසියට නොවෙයි රටට අවැඩක් නොවන ආකාරයෙන් සිදුකල යුතුයි.

අපි ඡන්ද සමග යන දේශපාලන පක්ෂයක්. අපි ඒවාට බය නැහැ. අනිවාර්යනේම මැතිවරණයක් එනවා. මේ අවස්ථාවේ විපක්ෂයේ තවත් කොටසක් අන්තවාදය විකුණන්න හැදුවට අපි කිසිසේත් මේ රටේ ජනතාවට විරුද්ධව කටයුතු කරන්නේ නැහැ. සැමටම එකට ජීවත්විය හැකි, ඒකීයභාවයෙන් යුත් රටක් තමයි මේ ව්‍යවස්ථාවෙන් ගේන්නේ. රටේ ආර්ථිකයට යම් ප්‍රශ්න ඇති කරලා ඒකට පැලැස්තර දාන්න ගිහිල්ලා තවත් අමාරු තත්ත්වයකට වැටෙනවා. අස්ථාවරතාවයක් තිබෙන වේලාවක රුපියල ස්ථාවරයිනම්, ස්ථාවර ආණ්ඩුවක් පත් වුණාම රුපියල කොහොමද අස්ථාවර වෙන්නේ. මහබැංකුවේ හොල්මන් ඉන්නකල් මේ තත්ත්වය වෙනස් කරන්න අමාරුයි “යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *