සමෘද්ධිලාභීන් තේරීමේ අවස්ථාව ගමේ ජනතාවට – ඇමති දයා ගමගේ

(කොළඹ, ලංකාපුවත්) –දිවයින පුරා වෙසෙන සමෘද්ධිලාභීන්ගේ මාසික ආදායම සැළකිය යුතු මට්ටමකට ඉහළ නංවා සවිබල ගැන්වීමට කටයුතු කොට යැපුම් මානසිකත්වයෙන් ඔවුන් මුදවා ගන්නා බව ද ගමේ ජීවත් වන ජනතාවට මින් මතු සමෘද්ධි පවුල් 25 ක් තෝරා දීමේ බලය ලබා දීමට කටයුතු කරන බව කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

නිෂ්පාදන විභවයයක් ඇති ආනයනික ආහාර ප්‍රවර්ධන යෝජිත වැඩසටහන සම්බන්ධයෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ පසුගියදා (08) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති විශේෂ සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

සමෘද්ධිලාභීන් වැඩි පිරිසක් සවිබල ගැන්වූ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇගයීමට ලක්විය යුතු බව පැවසූ අමාත්‍යවරයා එක් දිස්ත්‍රික්කයකින් නිලධාරීන් 06 දෙනෙකු බැගින් තෝරා දිවයින පුරා වෙසෙන දක්ෂතම සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 150 දෙනෙකු සඳහා සම්මාන ප්‍රදානය කිරීමට වහා කටයුතු කරන්නැයි මෙහිදි අමාත්‍යවරයා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දෙන ලදි. මේ පිළිබඳව ඉදිරි සතිය තුළදී තමා වෙත වාර්තාවක් ලබා දෙන ලෙසට ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

දිවයිනෙහි සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකින්ම පවුල් 10ක් තෝරා ගනිමින් ඔවුන් කඩිනමින් සවිබල ගැන්වීමට වහා කටයුතු කරන්නැයි උපදෙස් දුන් අමාත්‍යවරයාරට තුළ ආනයනික භාණ්ඩ අවම කිරීමටත් අපනයනය ඉහළ නංවාලීමටත් අදාළ ක්‍රමවත් වැඩසටහනක් පිළියෙල කරන ලෙසට ද නිලධාරීන්හට උපදෙස් ලබා දෙන ලදි.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය, අනෝමා ගමගේ අධීක්ෂණ මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන්න, අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පරිපාලන) සමන් උඩවත්ත‍ , සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නිමල් කොටවෙලගෙදර යන මහත්ම මහත්මීන් ඇතුළු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් මේ සඳහා සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *