පාර්ලිමේන්තුවෙන් රටට ආදර්ශයක් නොලැබෙන බව අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) –පසුගියදා පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධිය වසන් නොකර ඒ පිළිබඳ පුළුල්ව සාකච්ජා කර සත්‍ය රටට හෙළි කළ යුතු බවත් ඒ අනුව වරද නිවැරැදි කර රටට ආදර්ශයක් ලබා දිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

දේශපාලනඥයන් අනෙක් අයට ආදර්ශයක් ලබා දිය යුතු වුවත් අවාසනාවකට මෙන් අද අපේ පාර්ලිමේන්තුවෙන් රටට ආදර්ශයක් නොලැබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. අගමැතිවරයා මේ බව ද පැවසුවේ අධ්‍යාපන අමාත්‍යංශය මගින් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරන ලද ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකළ පන්ති කාමර ඇතුළු තෙමහල් ගොඩනැඟිල්ල සහ පාසලට වසර 75ක් සපිරීම වෙනුවෙන් දරු දැරියන් විසින් සංවිධානය කළ අධ්‍යාපනික ප්‍රදර්ශණයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඊයේ (09)එක්වෙමිනි.

පසුගියදා පාර්ලිමේන්තුවේ සිදු වූ සිදුවීමේදී සමහර මන්ත්‍රීවරුන් හැසිරුණේ පාසැල් ක්‍රිකට් තරඟයක් අවසානයේදි පාසැලේ සිසුන් හැසිරෙන ආකාරයට බව පෙන්වා දුන් අගමැති වික්‍රමසිංහ මහතා එම හැසිරිම රටට ආදර්ශයක් නොවන බවත් ඒ සම්බන්ධයෙන් ලැජ්ජා වියයුතු බවද සඳහන් ක‍ළේය.

එහිදි අගමැතිවරයා මෙසේද කිය.

මේ සිදුවීම් සම්බන්ධව වැරැද්ද තවමත් පිළිගෙන නැහැ. මෙවැනි පසුබිමක් තුළ දේශපාලඥයෙක් වශයෙන් අද මා ඔබතුමන්ලාට උපදෙස් දෙන්නේ කෙසේද කියන ප්‍රශ්නය මතුවෙනවා. මේ සිද්ධිය පාපිස්ස යට සඟවා තැබුවොත් එය අපේ රටට විශාල හානියක් වෙනවා. කොපමණ ලැජ්ජාවකට පත් වුනත් අප සියලු දෙනා මේ සිද්ධිය පිළිබඳ අවධානය යොමු කර ඒ ගැන පුළුල්ව සාකච්ඡා කර කුමක් ද සිදුවුණේ කියා සත්‍ය රටට හෙළි කළ යුතුයි. එය අප සියලු දෙනා දැනගත යුතුයි.

පාර්ලිමේන්තුවේ ඇතිවූ මේ සිද්ධීන් වසන් කළ යුතු නැහැ. ඒ පිළිබඳ පුළුල්ව අපේ අවධානය යොමු කළ යුතුයි. ඒ අනුව වැරදි නිවැරදි කර ගෙන රටට ආදර්ශයක් ලබා දෙන්නේ කෙසේද කියා බැලිය යුතුයි.

මේ සිද්ධියෙන් පසු පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා තරුණ තරුණියන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ අඳහස් පළ කළා. අප මේවා වසන් කළ යුතු නැහැ. මෙය නිවැරදි කර ගත යුතුයි. මහජන නියෝජිතයින් වශයෙන් අපේ අඩුපාඩු හා වැරදි තිබෙනවා නම් ඒ ගැන සාකච්ඡා කළ යුතුයි. එසේ නොවුනොත් ප්‍රජාතන්ත්ර වාදී දේශපාලනය අහිමි විය හැකියි. පාර්ලිමේන්තුවේ පමණක් නොව ඇතැම් පළාත් පාලන ආයතනවල දේශපාලඥයින් මෙලෙස හැසිරුණු ආකාරය අපි පසුගියදා දුටුවා.

මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසලෙන් පිටව යන විට අප ඔවුන්ට ආදර්ශයක් දිය යුතුයි. අපේ වැරදි නිවැරදි කර නොගන්නවා නම් එවැනි ආදර්ශයක් අපට ලබාදිය නොහැකියි.

මේ පාසලේ දරුවන්ට හොඳ ආචාර ධර්ම පද්ධතියක් තිබෙන බව මෙහි පැමිණි අවස්ථාවේදී මා දුටුවා. මහජන නියෝජිතයින් වන අපටත්, ආචාර ධර්ම පද්ධතියක් තිබෙනවා. එහෙත් අවාසනාවකට මෙන් එයට කුමක් ද වුණේ කියා ඇතැම් විට මම මා ගෙන් ප්‍රශ්න කර ගන්නා අවස්ථා තිබෙනවා.

ඇතැම් රටවල ආචාර ධර්ම පද්ධතිය නීතියෙන් ක්‍රියාත්මක කරනවා. ඇතැම් රටවල ඒ ආචාර ධර්ම පද්ධතිය සම්බන්ධව දැනුවත් කරන්න කොමසාරිස්වරු පත් කර තිබෙනවා. ඔවුන් මන්ත්‍රිවරුන්ට අදාළ වාර්තා සපයමින් උපදෙස් ලබා දෙනවා. පසුගියදා එංගලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පිරිසකට බීමතින් පාර්ලිමේන්තුවට නොපැමිණෙන ලෙස උපදෙස් ලබාදුන් අයුරු අප දුටුවා. මෙරට පාර්ලිමේන්තුව සම්බන්ධවද අපට එලෙස තදින් ක්‍රියා කරන්න සිදුවේවි. එසේ නොකරනවා නම් එය රටට කරන විශාල හානියක් බව කිව යුතුයි.

පාර්ලිමේන්තුවේ විනය කඩ කළත් ඒ අය සම්බන්ධව ගත යුතු පියවර කුමක්ද කියා අප පුළුල්ව සිතා බැලිය යුතුයි. මහා සංඝ රත්නයට විනය පිටකයක් තිබෙනවා. නමුත් අපට තිබෙන්නේ ස්ථාවර නියෝග. ඒ අනුව එය ආරක්ෂා කරමින් අප ක්‍රියා කළ යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *