බිඳ වැටුණු ආර්ථිකය නංවන අභියෝගය ජය ගන්නවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – දිනපනස් එකක කාලයේ දෙදරා ගිය ආර්ථිකය යළි ඉහළට ඔසවා තැබීමේ අභියෝගයට ශක්තිමත්ව මුහුණ දී ජය ගැනීමට සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) ප්‍රකාශ කළේය.

මෙය ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව සඳහන් කළ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා එම දින 51ක කාලයේ දී ප්‍රජාතන්ත්‍රවාදයට හා ජනතා පරමාධිපත්‍යයට එල්ල වූ අභියෝගයන්ට මුහුණ දී, යළිත් ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතා පරමාධිපත්‍යය ඉහළට ඔසවා තැබුවා සේම ආර්ථිකයත් ඉහළට ඔසවා තබන බවට ද සහතික විය .

එහිදි අසිරුතා සහ දුෂ්කරතා ඇති වුවත් ඒ සියල්ල මධ්‍යයේ ජනතා හිතවාදී අය-වැයක් 2019 වසර සඳහා ඉදිරිපත් කරන බවද අගමැතිවරයා පැවසීය.

දින පනස් එකක අවිචාරාත්මක කාල පරිච්ඡේදයේ දී තීරණ ගැනීමක් සිදු නොවීම හේතුවෙන් රජයේ සියලු ක්‍රියාවලීය නතර වූ අතර මෙම කාල සීමාවේ දී රටට සිදුවූ සම්පූර්ණ හානිය එකවර නොපෙනෙන බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

රුපියල ශක්තිමත් කරමින්, ජීවන වියදම අඩුකර ජනතාවට ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) වි‍ශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

එහිදි වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

ඔක්තෝබර 26වන දා මේ රටේ සිදු වූ දේශපාලන වියවුල හේතුවෙන් රටේ සියලු කටයුතු එක තැන හිර වුණා. දවස් 51ක් පුරා පැවැති දේශපාලන අස්ථාවරත්වය නිසා ස්ථාවර මට්ටමකට එසැවෙමින් තිබූ අපේ ආර්ථිකයට මරු පහරක් වැදුණා. ආර්ථික වර්ධන වේගය අඩාල වුණා. රුපියල තව තවත් අස්ථාවර වුණා. ජාත්‍යන්තර මුල්‍ය ශ්‍රේණිගත කිරීම්වලින් පහළට වැටුණා. විදේශ සංචිත පහළ වැටුණා. මේ කාලයයේ කිසිම රටකින් හෝ කිසිම ජාත්‍යන්තර මුල්‍ය ආයතනයකින් කිසිම ණයක් හෝ ආධාරයක් ලබා ගන්න ශ්‍රී ලංකාවට නොහැකි වුණා.

මේ දින 51 කාලය ශ්‍රී ලංකාවේ රුපියලේ අගය සියයට තුනයි දශම අටකින් (3.8%) අවප්‍රමාණය වුණා. වෙනත් රටවල් වල මුදල් ඒකකයන්වල වටිනාකම වැඩිවෙද්දී ලංකාවේ අඩු වුණා. මීට පෙර මුදල් වටිනාකම අඩු වූ රටවල මුදලේ වටිනාකම වැඩි වුණා. 2018 ඔක්තෝබර් මස 26 ඉඳලා දෙසැම්බර් මස 16 අතර කාලයේ භාණ්ඩාගාර සුරැකුම්පත් අමෙරිකානු ඩොලර් මිලියන තුන්සිය දොළහයි දශම නවයකුත් (312.9) භාණ්ඩාගාර බිල්පත් අමෙරිකානු ඩොලර් මිලියන විසිනවයයි දශම එකකුත් (29.1) භාණ්ඩාගාර බැඳුම්කර අමෙරිකානු ඩොලර් මිලියන විසිනවයයි දශම අටක් (29.8) වශයෙනුත් මුදල් රටෙන් එළියට ගියා.

මේ දවස් 51ක කාලයේ අපේ විදේශ සංචිත අමෙරිකානු ඩොලර් මිලියන හත්දාස් නවසිය අනූඑකයි දශම පහේ (7991.5) සිට හයදාස් නවසිය අසූපහයි දශමහතර (6985.4) දක්වා පහළ ගියා. ඒ කියන්නේ බිලියනයකින් පහළ වැටුණා, යැයි ද අගමැති වික්‍රමසිංහ මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *