ජනපති-පිලිපින ජනපති අතර හමුව අද

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර 58 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තුළ ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකුට පිලීපීන රාජ්‍ය සංචාරයක් සඳහා ආරාධනා හිමි වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් එරට සිව්දින රාජ්‍ය සංචාරයක් ආරම්භ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(15) රාත්‍රියේ මැනිලා නුවර නිනෝයි අකිනෝ (Ninoy Aquino ) ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගාවිය.

එහිදී එරට වෙළෙඳ සහ ආයෝජන අමාත්‍යවරයා ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් විසින් ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස මහත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.

පිලිපීන රජය 1961 ජනවාරි මස කොළඹ දී දූත මණ්ඩල කාර්යාලයක් විවෘත කිරීමත් සමඟ, ශ්‍රී ලංකාව හා පිලිපීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කෙරිණි. 1973 වසරේ දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ආණ්ඩුව නියෝජනය කරමින් පිලිපීනයේ සංචාරයක නිරත වූවාය. ඊට පසුව ජාත්‍යන්තර සමුළු සඳහා සහභාගීවීමට නායකයන් කිහිප දෙනකු පිලිපීනයේ සංචාරය කළ ද පිලිපීනයෙන් ශ්‍රී ලංකාවට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ආරාධනාවක් හිමි වූ පළමු අවස්ථාව මෙයයි.

දෙරට අතර පවතින දීර්ඝකාලීන දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සබඳතා නව ක්ෂේත්‍රයන් කරා ව්‍යාප්ත කර ගනිමින් දෙරටටම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ හිමිවන අයුරින් සහයෝගීතාව ඉහළ නංවා ගැනීම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණයි. සිය සංචාරය අරඹමින් අද (16) පෙරවරුවේ මැනිලා නුවර ස්ථාපිත කර ඇති පිලීපීන ජාතික වීරයන්ගේ ස්මාරකය වෙත යන ජනාධිපතිවරයා පුෂ්පෝපහාර දැක්වීමට නියමිත ය. ඉන් අනතුරුව එරට ජනාධිපති මන්දිරය වන මලකන්යන්ග් පැලස්හි දී ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මහතා සමඟ ද්වි පාර්ශ්වික සාකච්ඡාවලට එක්වනු ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගැනීම වෙනුවෙන් විශේෂ උත්සවයක් ද ජනාධිපති මන්දිරයේ දී සංවිධාන කර තිබේ.

දෙරට අතර ආරක්ෂක, අධ්‍යාපන, කෘෂිකර්ම සහ සංචාරක ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ ගිවිසුම් කහිපයකට රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව අත්සන් තැබීමට නියමිතය.

සිය සංචාරයේ දී පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ සහ ලොස් බැනෝස්හි පවතින ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ සංචාරයකට ද ජනාධිපතිවරයා එක්වන අතර ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකෝ නාකා ඕ මහතා ද ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා පවත්වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *