බරපතල වංචා සෙවීමට ජනාධිපති කොමිසමක්

(කොළඹ, ලංකාපුවත්) –2015 ජනවාරි මස 15 වන දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දුෂණ, වංචා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර තිබේ.

2015 ජනවාරි මස 15 වැනි දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන දුෂණ ක්‍රියා, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධී පරිහරණය, රැවටීම සහ බලය හෝ අධිකාරය, රාජ්‍ය සම්පත් හා වරප‍්‍රසාද අනිසි ලෙස භාවිතා කිරීම හෝ අවභාවිතය සහ එකී වරදවල් සහ වැරදිවල ප‍්‍රතිඵලයක් ලෙස රාජ්‍ය වත්කම්වලට, රාජ්‍ය ආදායමට බරපතළ අලාභ හෝ හානි සිදුවී තිබීම සම්බන්ධයෙන් දේශපාලන පදවි දැරූ හෝ තවදුරටත් දරමින් සිටින පුද්ගලයන්ට සහ රජයේ සේවකයින් හා ව්‍යවස්ථාපිත මණ්ඩලයන් හි නිලධාරින් වශයෙන් සේවයේ නිරත ව සිටි සහ තවදුරටත් සේවයේ නිරතව සිටින පුද්ගලයන්ට එරෙහි බරපතළ චෝදනා පිළිබඳව මහජන පැමිණලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ ඒවා කඩිනම් අපක්ෂපාතී, පුළුල් විමර්ශනයකට ලක් කිරීම මෙම කොමිෂන් සභාවේ කාර්යභාරයයි.

එබඳු වරදවල් සම්බන්ධයෙන් නිතී ප‍්‍රකාරව වගකිව යුතුව සිටි හෝ වගකිව යුතු වන පුද්ගලයන් හදුනා ගැනීම හා සාක්ෂි එක් රැස් කිරීම ද මෙම කොමිෂන් සභාව හරහා සිදු වේ.

මෙම ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කටයුතු කරන අතර, විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන, විශ‍්‍රාමික විගණකාධිපති පස්දුන් කෝරළේ ආරචිචිගේ පේමතිලක, විශ‍්‍රාමික අමාත්‍යාංශ ලේකම් ලලිත් ආර්. ද සිල්වා, විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති එම්.කේ.ඞී. විජය අමරසිංහ යන මහත්ම මහත්මීන් එහි සෙසු සාමාජිකයෝ වෙති.

එහි පළමු අතුරු වාර්තාව මාස 03 ක් ඇතුළතත්, නිගමනයන් හා නිර්දේශයන් ඇතුළත් අවසන් වාර්තාව මාස 06 ක් ඇතුළතත් වෙත ඉදිරිපත් කිරීමට උපදෙස් දී තිබේ. 2015 ජනවාරි 08 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට රටේ හැට දෙලක්ෂ පනස්දහසක ජනතාව එක්ව ජන වරමක් ලබා දෙන ලද්දේ දුෂණය සහ වංචාව පිටුදැකීමට බව ජනාධිපති මාධ්‍ය ඒකක නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. සිය ධූර කාලය තුළ පියවර රැසක් ජනාධිපති විසින් ගෙන ඇති බැවින් එහි තවත් පියවරක් ලෙස මෙම කොමිෂන් සභාව පත් කිරීමට ක්‍රියා කර ඇත.

දුෂණයෙන් තොර ශ‍්‍රී ලංකාවක්, යන තේමාව යථාර්ථයක් බවට පත් කිරීමට මෙම පියවර ද ඉවහල් වනු ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 + 19 =