රහෆ් ‘සෞදි ජීවිත කතාව‘ ලොවට කියන්න සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – සෞදි කාන්තාවට සළකන්නේ වහලුන් ලෙස බවත් ඔවුන්ට සිදු වන්නේ කුමක් ද කියා වටහා ගන්නට තම ජීවිත කතාව ලෝකය ඉදිරියේ ප්‍රකාශ කිරීමට අවශ්‍ය බවත් කැනේඩියානු රැකවරණය ලැබූ රහෆ් මොහමඩ් පවසයි.

තමන්ට අහිමි වීමට කිසිවක් නොතිබූ බැවින් තමා ගත් අවදානම සැබැවින්ම වටිනා එකක් බව ඇය වැඩි දුරටත් පැවසුවාය.

18 හැවිරිදි රහෆ් තම පවුලෙන් මිදී ඔස්ට්‍රේලියාව වෙත පලා යාම සඳහා තායිලන්තයට පැමිණි අවස්ථාවේ ඇය ආපසු ඇයගේ පවුලේ සාමාජිකයින් වෙත යැවීමේ උත්සාහයක් පැවැති අතර ඒ අවස්ථාවේ ඇය කියා සිටියේ එසේ වුව හොත් ඔවුන් තමන්ව මරා දමනු ඇති බවයි.

කෙසේ වුවත් එක්සත් ජාතීන් ගේ මැදිහත් වීමෙන් සරණාගතයකු ලෙස කැනඩා රජයේ රැකවරණය ලැබූ රහෆ් මෙසේ ප්‍රකාශ කළේ සිය ප්‍රථම මාධ්‍ය හමුවේ දීය. තව දුරටත් එම පවුලේ බැඳීම පවතින අල්-කුනන් නාමය මේ වන විටත් ඇය අතහැර හමාරය.

ටොරොන්ටෝ හි පැවැති මෙම මාධ්‍ය හමුවේ දී රහෆ් ප්‍රකාශ කළේ ඉස්ලාම් ආගම අනුව කාන්තාවන් පිරිමින් ලෙස ඇඳීම පැළඳීම තහනම් නිසා කොණ්ඩය කැපූ වරදට තමාව මාස හයක් කාමරයක දමා අගුළු ලා සිටි බවයි. මවගේ සහ ස‍හෝදරයාගේ ප්‍රචණ්ඩත්වයට තමා නිරන්තරයෙන් ලක් වූ බවත් ඔවුන් ගේ දැඩි වද හිංසාවන්ට ලක් වූ බවත් ඇය අනාවරණය කළාය.

කැනේඩියානු තරුණියන් මෙන් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අපේක්ෂා කරන බව ඇය අවසානයේ සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *