පිලිපීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් පියවර රැසක්

(කොළඹ, ලංකාපුවත්) – තම රාජ්‍ය සංචාරයත් සමග නව ප්‍රවේශයක් ලැබුණු පිලිපීන – ශ්‍රී ලංකා මිත්‍රත්වය තුළ පිලිපීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ගැටලු විසඳමින් ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් (Rodrigo Duterte) මැතිතුමාගේ විශේෂ ආරාධනය පරිදි පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ පිලිපීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතර හමුවක් ඊයේ (17) පස්වරුවේ මැනිලා නුවර දී පැවැත්වුණු අතර, එහි දී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

උසස් අධ්‍යාපනය ලබන සිසුන්, වෘත්තියවේදීන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල කටයුතු කරන පිරිස් මෙම හමුවට එක්ව සිටි අතර ඔවුන්ගේ ගැටලු මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණි.

උසස් අධ්‍යාපනය ලබන සිසුන්ගේ ගැටලු, වීසා ලබාගැනීමේ දී මතුවන ගැටලු ආදි කරුණු මෙහි දී ඉදිරිපත් කෙරුණු අතර, එම සියලු ගැටලු පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිනිය වෙත යොමු කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිතුමා පිලිපීන රජය සමග සාකච්ඡා කර එම ගැටලු විසඳා ගැනීමට ගතහැකි සෑම පියවරක් ම ගන්නා බව සඳහන් කළේය.

ආර්ථික සංවර්ධනය සහ භෞතික සම්පත් සංවර්ධනය තුළ පිලිපීන රජය ලබා ඇති ප්‍රගතිය මෙහි දී ඇගැයීමට ලක් කළ ජනාධිපතිතුමා, මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව පිලිපීන ජනාධිපතිවරයාගේ සහ රජයේ කැපවීම ද අගය කළේය.

එමෙන්ම අද ශ්‍රී ලංකාවට ද ප්‍රබල අභියෝගයක් ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීම වෙනුවෙන් තම මඟපෙන්වීමෙන් ක්‍රියාත්මක පුළුල් වැඩසටහන පිළිබඳව ද ජනාධිපතිතුමා පිලිපීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දැනුවත් කළේය.

එහි දී ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ එම වැඩපිළිවෙළ වඩා ශක්තිමත් කිරීමට මෙම ජනවාරි මැද සතියේ සිට තවත් සුවිශේෂි වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති බවයි.

එමෙන්ම තම පිලිපීන රාජ්‍ය සංචාරයේ දී දෙරට අතර ඇතිකරගත් ද්වීපාර්ශ්වික එකඟතා පිළිබඳව ද ශ්‍රී ලාංකිකයන් දැනුවත් කළ ජනාධිපතිතුමා, එම එකඟතා සාර්ථක ලෙස ඉදිරියට ක්‍රියාත්මක කිරීමට ඉහළම කැපවීමකින් කටයුතු කරන බව ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *