ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 455ක ණය සහ ප්‍රදානයක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපෘති 03ක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 455ක ණය සහ ප්‍රදානයක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවේ එකඟ වෙයි.

පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (17) පෙරවරුවේ පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක් වූ අතර, එහිදී එහි සභාපති තකෙහිකෝ නාකාඕ (Takehiko Nakao) මහතා සමග පැවති සාකච්ඡාවේ දී මෙම එකඟතාවය පළ කෙරිණි.

මෙයින් ඇමරිකන් ඩොලර් මිලියන 300ක මුදලක් ශ්‍රී ලංකාවට සැපයීමට එකඟතාවය පළ වී ඇත්තේ කොළඹ වරායට පිවිසීම සඳහා කුලුනු සහිත මහාමාර්ගයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහායි. ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු උප කලාපය සඳහා ආර්ථික සහයෝගය සැපයීමේ ප්‍රතිපත්ති රාමුව තුළ එම එකඟතාවය පළ වී තිබේ.

එමෙන්ම විද්‍යා තාක්ෂණික හා මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 145ක මුදලක් ලබාදීමට එකඟතාවය පළ කෙරිණි. නගර සංවර්ධන ව්‍යාපෘතිවල සක්‍යතා අධ්‍යයනය වෙනුවෙන් තාක්ෂණික ආධාර සැපයීමේ යෝජනා ක්‍රමයක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10 ක මුදලක් ලබාදීමට ද එකඟතාවය පළ වී තිබේ. මෙම එකඟතාවයන්ට අදාළ ගිවිසුම්වලට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකෝ නාකාඕ මහතා අතර අත්සන් තැබීම ද මෙහිදී සිදු විය.

මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අද ශ්‍රී ලංකාව ප්‍රධාන අභියෝග දෙකකට මුහුණ දී සිටින බවයි. දුගී බව තුරන් කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම එම අභියෝග බව සඳහන් කළ ජනාධිපතිතුමා ඒ සඳහා ගෙන යන වැඩපිළිවෙළ වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රමුඛ සහයක් අපේක්ෂා කරන බව ද කියා සිටියේය. මෙරටට නීති විරෝධි මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීමට රේගුව සඳහා අවශ්‍ය නවීන තාක්ෂණය සහ විශේෂඥ තාක්ෂණ දැනුම ලබාදීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන බව ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ අද ශ්‍රී ලංකාව නියඟය සහ ගංවතුර යන දෙකෙන්ම පීඩාවට පත්වන අතර ඊට මුහුණදීම සඳහා වඩා විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාවය මතුව ඇති බවයි. ඒ අනුව දේශගුණික හා කාලගුණික විපර්යාසවලින් ශ්‍රී ලංකාවට වන හානිය අවම කර ගැනීමේ ව්‍යාපෘති සඳහා සහය දැක්වීමට ද ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා එකඟතාවය පළ කළේය.

තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ ද මෙහිදී ජනාධිපතිතුමා පැහැදිළි කළ අතර රට තුළ වඩා යහපත් ආර්ථිකයක් ගොඩනැංවීම වෙනුවෙන් එය අත්‍යවශ්‍ය කටුයුත්තක් බව ද සඳහන් කළේය. එහිදී ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා සඳහන් කළේ අපේක්ෂිත ඉලක්ක මුළුමනින්ම සම්පූර්ණ නොවුණත් අද ශ්‍රී ලංකාවට හොඳ ආර්ථික වර්ධන වේගයක් අතකර ගැනීමට එම වැඩපිළිවෙළ තුළින් හැකියාව ලැබී තිබෙන බවයි.

බලශක්ති සංරක්ෂණය, කෘෂිකර්ම, යටිතල පහසුකම්, කාලගුණික සහ පරිසර, වන සංරක්ෂණ ආදි විවිධ ක්ෂේත්‍රවලින් මේ වන විට ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට සහය ලබාදෙමින් සිටින අතර එම සහය අඛණ්ඩ ව ඉදිරියට ලබාදීමට කටයුතු කරන බව සභාපතිවරයා සඳහන් කළේය. එමෙන්ම වාරිමාර්ග, මහාමාර්ග සහ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍රයේ නව ව්‍යාපෘති සඳහා ඉදිරියේ දී සහය දැක්වීමට අපේක්ෂා කරන බව ද කියා සිටියේ ය.

කුඩා හා මධ්‍ය පරිමාණ කාෂිකර්මාන්තය වැඩිදියුණු කිරීම මගින් මූල්‍ය කළමනාකරණය ඇති කර ගැනීමේ හැකියාව මෙහිදී පෙන්වා දුන් ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා ඒ වෙනුවෙන් විශේෂ සහයක් ලබාදීමට අපේක්ෂා කරන බව ද පැවසීය.
එමෙන් ම අද ශ්‍රී ලංකාව සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ලබා ඇති ප්‍රගතිය ඇගැයීමට ලක් කළ සභාපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය ව්‍යාපෘති පිළිබඳව ද ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමු කරන බව සඳහන් කළේය.

පරිසර සංරක්ෂණය වෙනුවෙන් ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී සභාපතිවරයා දැනුවත් කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ වන ඝනත්වය 28% – 32% දක්වා වර්ධනය කර ගැනීම අපේක්ෂාව බවත්, ඒ පිළිබඳ තමන් පරිසර අමාත්‍යවරයා ලෙස පැරිස් සමුළුවේ දී ද කථා කළ බවත් සඳහන් කළ අතර ඒ පිළිබඳව ද ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයාගේ අවධානය යොමු කළේය.

ශ්‍රී ලංකාවේ බෝග වගාවට සතුන්ගෙන් සිදුවන හානිය වළක්වා ගැනීමේ කඩිනම් වැඩපිළිවෙළක අවශ්‍යතාවය පිළිබඳව ද ජනාධිපතිතුමා සභාපතිවරයා සමඟ සාකච්ඡා කළේය.

අඩ සිය වසකට වැඩි කාලයක සිට එනම් 1966 වසරේ පටන් ශ්‍රී ලංකාව සමග ඉතා ශක්තිමත් හවුල් සබඳතාවයක් ගොඩනගා ගනිමින් ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ලබාදෙන සහය පිළිබඳ මෙහිදී ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා කලාපයේ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ද ආසියානු සංවර්ධන බැංකුවෙන් හිමි වන සහයෝගය ඇගැයීමට ලක් කළේය.

මෙහිදී අදහස් දැක්වූ තකෙහිකෝ නාකාඕ මහතා තමන් ශ්‍රී ලංකාවේ අවස්ථා කිහිපයකදී ම සිදු කළ සංචාර පිළිබඳ සිහිපත් කරමින් කියා සිටියේ ත්‍රස්තවාදී අභියෝගය ජය ගැනීමෙන් පසු මේ වන විට ශ්‍රී ලංකාව ලබා ඇති පර්වර්තනය පිළිබඳ සතුටු වන බවයි. අද ආසියාවේ සංචාරයට සුදුසු රටවල් දෙක තුනක් අතරින් ශ්‍රී ලංකාව එක රටක් බව ද ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකෝ නාකාඕ මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *