‘ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය’ ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරැඹේ

(කොළඹ, ලංකාපුවත්) – පාසල් සිසුන් හා වැඩිහිටියන් මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාවලයේ සක්‍රීය කොටස්කරුවන් බවට පත් කරන ‘ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය’ ප්‍රකාශයට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මුලතිව් විද්‍යානන්ද විද්‍යාලයේ දී අද (21) ආරම්භ කෙරේ.

‘මත්ද්‍රව්‍ය නිවාරණය දරුවන්ගෙන් ඉගෙන ගනිමු’ යන තේමාව යටතේ සංවිධානය කැර තිබෙන මේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය එළඹෙන 28 වැනි දා දක්වා ක්‍රියාත්මක වන අතර එම කාලයේ දී රටේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධක බලකාය පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම පරිදි ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ප්‍රකාශයට පත්කර තිබෙන අතර මත්ද්‍රව්‍ය නිවාරණය ජනාධිපති කාර්ය සාධක බලකාය සහ අදාළ අමාත්‍යාංශ මෙය ක්‍රියාවට නංවයි.

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පාසල් මට්ටමින් මේ සතිය ක්‍රියාත්මක වන අතර දැනට වසර දෙකක සිට ක්‍රියාත්මක වන පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ උපදෙස් සංග්‍රහය සෑම පාසලක් වෙත යොමු කැර තිබේ. එම වැඩසටහනේ දිඟුවක් වශයෙන් ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ප්‍රකාශයට පත්කරන අතර පන්ති කාමරය තුළ දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, දෙමාපියන් දැනුවත් කිරීමේ ක්‍රියාකාරකම් සිදු කිරීම, මත්ද්‍රව්‍ය හා සම්බන්ධ නීති රීති සම්බන්ධයෙන් ළමුන් දැනුවත් කිරීම, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය දැනුවත් කිරීම, මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් සම්මාන පිරිනැමීම, මත්ද්‍රව්‍ය නිවාරණ පණිවුඩ ප්‍රචලිත කිරීම හා මාධ්‍යවේදීන් දැනුවත් කිරීම එම වැඩසටහන් අතර වෙයි.

පාසල් ප්‍රජාව මත් උවදුරෙන් බේරා ගැනීම හා දරුවන් හරහා වැඩිහිටියන්ට පණිවුඩයක් ලබාදීම මෙන්ම දුම්වැටි, මධ්‍යසාර හා අනෙකුත් මත්ද්‍රව්‍ය සඳහා පාසල් ළමුන්ගේ පෙළඹීම අවම කිරීමේ අරමුණින් මේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ප්‍රකාශයට පත්කර තිබෙන අතර ශ්‍රී ලංකාව පුරා විසිරී පවතින ගම්මාන 14,022 ක මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ගුරුවරුන්, දෙමාපියන්, ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු පාසල අවට ප්‍රජාව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාවලියේ සක්‍රිය කොටස්කරුවන් බවට පත්කර ගැනීම මේ සතියේ දී අපේක්ෂා කරන අතර පාසල් දරුවන් මත් උවදුරෙන් මුදා ගැනීමේ අරමුණ ඇතිව මේ වැඩසටහන ක්‍රියාත්මක කරයි. මේ දක්වා රටපුරා ක්‍රියාත්මක කැර තිබෙන වැඩසටහන් හේතුවෙන් දුම්පානය පහත වැටී තිබෙන බවට ගණන් බලා ඇත.

දුම්වැටි සඳහා පමණක් වාර්ෂිකව ශ්‍රී ලාංකිකයන් රුපියල් ලක්ෂ 3,900 ක මුදලක් වැයකරන අතර දුම්වැටි හේතුවෙන් වැළඳෙන රෝගාබාධ වෙනුවෙන් වාර්ෂිකව රුපියල් කෝටි 7,500 ක දැවැන්ත මුදලක් වෙන්කරයි. මත්පැන් හා දුම්වැටි හේතුවෙන් පමණක් වාර්ෂිකව මියයන සංඛ්‍යාව 60,000 ක් 70,000 ක් පමණ වෙයි.

මේ අතර උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරෙන් රාඝවන් මහතා මෙම මත්ද්‍රව්‍ය නිවාරන වැඩසටහන උතුරු පළාත කේන්ද්‍ර කැර ගනිමින් සංවිධානය කැර ඇති අතර, අද ආරම්භක දිනයේම උතුරු පළාතේ සියලු පාසල්වල දරුවන් මත්ද්‍රව්‍ය නිවාරන ප්‍රතිඥාව දීමට සූදානමින් සිටී. මේ සඳහා උතුරේ පාසල් ළමුන් 15000ක් ප්‍රතිඥාදීමට සූදානම් බවද වාර්තා වෙයි.

මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බළකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − nine =