මහ කන්නයේ වී මිලදී ගන්න මිලියන 6100ක් වෙන් කිරීමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් මිලියන 6100ක මුදලක් වෙන් කිරීමට නියමිත බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත්ඇමැති පී. හැරිසන් මහතා කියයි.

මෙම වර්ෂයේ මහ කන්නයේ වී මිලදී ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමත්‍යංශයේදී අද(23) දින කෘෂිකර්ම අමාතයංශයේදී පැවැත්වූ අවස්ථාවේදී මේ බැව් අනාවරණය කරන ලදි.

අම්පාර දිස්ත්‍රික්කයේ මහ කන්නයේ වී අස්වනු නෙලීම මේ වන විටත් ආරම්භ වී ඇති බවත් නිසි ක්‍රමවේදයකට අනුව ගොවියාගේ වී අස්වැන්න මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස එහිදී අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් දෙන ලදි.

මෙහිදී එක් ගොවියකුගෙන් වී කිලෝග්‍රෑම් 2000ක් පමණ මිලදී ගැනීමට‍ රජය අපේක්ෂා කරන බව ගොවීන්ගෙන් මිලදී ගන්නා වී ගබඩා කිරීම සඳහා ගබඩා පහසුකම් විධිමත් කළ යුතු බව ඇමැතිවරයා එහිදී නිලධාරීන්ට කීය.දැනට පවතින ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින් ඉදිරියේදී ඒ පිළිබඳ කටයුතු විධිමත් කළ යුතු බවද මෙහිදී සාකච්ඡා විය.

අනුරාධපුර, අම්පාර, මඩකලපුව යන දිස්ත්‍රික්කවල මේ වන විටත් අස්වැන්න නෙලමින් පවතින අතර රජය විසින් ගොවීන්ගෙන් වී කිලෝවක් සඳහා නාඩු රු. 38කට ද සම්බා රු.41කට දවී මිලදී ගැනීමට රජය විසින් තීරණය කර ඇත.

ගොවීන්ගේ පහසුව උදෙසා ඉදිරියේදී ගොවිජන මධ්‍යස්ථාන හරහා වී වේලීම සඳහා විදුලියෙන් ක්‍රියාත්මක වී වේලන යන්ත්‍ර ස්ථාපනය කිරීමට ද තමන් අපේක්ෂා කරන බව ඇමැතිවරයා මෙහිදී පැවැසීය.

මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා, වී අලෙවි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි සමන් පාලිත බණ්ඩාර මහතා ඇතුළු වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කලමනාකරුවෝ ද එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *