චෛත්‍යය මත නැග සිටි තරුණයින් අත්අඩංගුවට ගැනීමට සොයයි

(කොළඹ, ලංකාපුවත්) – හොරොව්පතාන කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියේ නටඹුන් වූ චෛත්‍යයක් මත නැග ඡායාරූප ගත් පිරිස හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක‍්‍රියාත්මක බව පොලිසිය පවසයි.

ඒ, පුරාවිද්‍යා බලධාරීන් විසින් ඊයේ (22) පස්වරුවේ හොරොව්පතාන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවය.

මෙම චෛත්‍ය මත නැග අදාළ පිරිස ලබාගත් ඡායාරූප පසුව සමාජජාල මාධ්‍ය වෙත මුදාහැර තිබුණි. ඉන් පසුව ඒ සම්බන්ධයෙන් පුරාවිද්‍යා බලධාරීන් පොලිසියට පැමිණිලි කර ඇත.

පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් පී. බී. මණ්ඩාවල මහතා කියා සිටියේ අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් මෙම ක‍්‍රියාවට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවයි.

පුරාවස්තු ආඥා පනත යටතේ ඔවුන් සිදු කර ඇත්තේ අපරාධ නීතිය යටතට ගැනෙන වරදකි.

හොරොව්පතාන නගරයට ආසන්නයේ ඇති කිරලාගල මෙම විහාර සංකීර්ණය ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයකි. එය ක‍්‍රිස්තු වර්ෂ 4වන සහ 5 වන සියවසට අයත් බවට විශ්වාස කෙරේ.

එවැනි වැදගත් ස්ථානයක පිහිටි චෛත්‍යක් මත නැග ලබාගත් ඡායාරූප සමාජජාල මාධ්‍ය හරහා සංසරණය වීමත් සමග බොහෝ පිරිසක් ඊට දැඩි විවේචනයන් එල්ල විය. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බෞද්ධ තොරතුරු කේන්ද්‍රය විසින් ද පොලිසියට ඊයේ (22) පැමිණිල්ලක් ද සිදු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *