මත් ජාවාරම් මඩින්න සිංගප්පූරු තාක්ෂණික දැනුම

(කොළඹ, ලංකාපුවත්) –මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් සිංගප්පූරු රජය යොදාගන්නා ශිල්පීය සහ තාක්ෂණික දැනුම ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට හඳුන්වා දීමට එරට බලධාරින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය එකඟතාව පළකර තිබේ.

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපතිවරයා සහ සිංගප්පූරු රජයේ සමාජ හා පවුල් සංවර්ධන අමාත්‍ය සහ ජාතික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඩෙස්මන්ඩ් ලී (Desmond Lee) මහතා ඇතුළු එරට මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළ අංශවල නිලධාරින් අතර හමුවක් ඊයේ (24) පෙරවරුවේ මැන්ඩරීන් ඔරියන්ටල් හෝටලයේදී පැවැත්වුණු අතර, ශ්‍රී ලංකාවේ මත් උවදුර මර්දනයට සහය ලබාදෙන ලෙස ජනාධිපතිතුමා එහිදී කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මෙම එකඟතාව පළ කෙරිණි.

ඒ අනුව මත්ද්‍රව්‍ය නිවාරණය සහ පාලනය වෙනුවෙන් ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ උදෙසා සිංගප්පූරුවේ සහාය ලබාදීම පිළිබඳ සොයා බැලීමට සිංගප්පූරු රජය ද නියෝජනය කරමින් විශේෂ නියෝජිත පිරිසක් නුදුරේම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

සිංගප්පූරු රජය මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළව අනුගමනය කරන්නා වූ ක්‍රියාදාමයන් පිළිබඳවත්, නීතිවිරෝධි මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් එරට රජය දියත්කරන ජාතික වැඩසටහන් පිළිබඳවත් ජනාධිපතිවරයා වෙත මෙහිදී නිලධාරීහු කරුණු ඉදිරිපත් කළහ. මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් එරට අමාත්‍යාංශ කිහිපයක් ජාතික මට්ටමින් ක්‍රියාවට නංවා ඇති වැඩසටහන්වල වත්මන් ප්‍රගතිය පිළිබඳ ද ජනාධිපතිවරයා දැනුවත් කෙරිණි.

ශ්‍රී ලංකාවට මහත් ව්‍යසනයක්ව ඇති මත් උවදුර පාලනය සහ මර්දනය වෙනුවෙන් ශ්‍රී ලංකාව ද ජාතික මට්ටමින් ක්‍රියාවට නංවා ඇති වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය. එමෙන්ම මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන පොලිස් නිලධාරීන් අගයමින් ඔවුන් වෙත ජනාධිපති සම්මාන පිරිනැමීමට තමා ඉදිරි සතියේ දී පියවර ගන්නා බවද සඳහන් කළේය.

මෙම සාකච්ඡාවට එරට රජයේ සමාජ හා පවුල් සංවර්ධන අමාත්‍ය සහ ජාතික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඩෙස්මන්ඩ් ලී (Desmond Lee), ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අන්තර්ජාතික සහයෝගිතා සහ සම්බන්ධීකරණ අංශ‍යේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ලින්ග් යන්ග් අර්න් (Ling Young Ern), මධ්‍යම මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ සෙබස්තියන් ටැන් (Sebastian Tan), මධ්‍යම මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ සන්නිවේදන අධ්‍යක්ෂ සන්ග් චෙන් හොන්ග් (Sng Chern Hong) යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *