ආබාධිත හා ජිවිතක්ෂයට පත්වූ රණවිරුවන්ට ජීවිතාන්තය තෙක් වැටුප් – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –මෙහෙයුම් රාජකාරී කටයුතුවල දී හෝ ත්‍රස්තවාදී ක්‍රියා හේතු කොටගෙන හෝ වෙනත් නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු නිසා හෝ ආබාධිත ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට සහ මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් / යැපෙන්නන් වෙත වයස අවුරුදු 55 දක්වා ගෙවන ලද වැටුප් සහ දීමනා ජීවිතාන්තය දක්වා ගෙවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි පියවර ගැනේ.

ඒ අනුව ඉදිරි මාස දෙකක් තුළ ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට නියමිතය.

ආබාධිත රණවිරුවන්ගේ දීර්ඝකාලීන ඉල්ලීමක් වූ මෙම ගැටලුව විසඳීම සඳහා ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මත ආරක්ෂක අමාත්‍යාංශය ගෙන ඇති පියවර පිළිබඳ දැනුවත් කිරීමට පසුගියදා (25) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවක දී මේ බව සඳන් කෙරිණි. ආබාධිත හා මියගිය රණවිරුවන්ගේ ජාතික සංසදය, රණවිරු බිරින්දෑවරුන්ගේ දිස්ත්‍රික් සහ ජාතික සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයන් එම හමුවට කැඳවා තිබිණි.

ආබාධිත රණවිරුවන් විසින් ඉල්ලීම් 08 ක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කර තිබූ අතර එම සියලු ගැටලුවලට විසඳුම් ලබාදිමට ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් මේ වන විට පියවර ගෙන තිබේ.

රණවිරුවන්ගේ අවශ්‍යතා හඳුනාගනිමින් රණවිරු ගැටලු විසඳීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිරන්තරයෙන් සිදුකරන මැදිහත්වීම මෙහි දී රණවිරුවන්ගේ දැඩි ප්‍රශංසාවට ලක් විය.

ආරක්ෂක අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් සනත් වීරසූරිය, ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන අනුරාධ විජේකෝන්, විජිතා මායාදුන්නේ යන මහත්ම මහත්මීහු සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 + 15 =