මත්ද්‍රව්‍ය මර්දනයට කැපවූ පොලිස් නිලධාරීන් ජනපති අතින් ඇගැයීමට

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ “මතින් නිදහස් රටක්” සංකල්පය සාර්ථක කර ගැනීමට දිවිහිමියෙන් කැප වූ හා නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ දී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරින් ඇගැයීමට ලක් කෙරෙන “ජනපති ප‍්‍රශංසා” සම්මාන උලෙළ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (28) පෙ.ව 10.00 කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

2015 ජනවාරි 14 වන දින සිට 2019 ජනවාරි 14 වන දින දක්වා කාලපරිච්ඡේදය තුළ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකිරීම සඳහා සකී‍්‍රය ලෙස දායක වී ඇති නිලධාරින් සහ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදුන සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා සකී‍්‍රයව දායක වූ විශේෂ කාර්ය බළකායේ නිලධාරින් ඇතුළු පොලිස් නිලධාරින් 1034 දෙනෙකු වෙත මෙහිදී ජනාධිපතිතුමා අතින් පදක්කම් සහ ප‍්‍රශංසා සහතික පිරිනැමේ.

කාණ්ඩ 03 ක් යටතේ මෙම ඇගැයිම් සම්මාන පිරිනැමෙන අතර ජනාධිපති පොලිස් වීරතා පදක්කම, පදක්කම්ලාභීන් 15 දෙනෙකු වෙතත්, පොලිස් දක්ෂතා පදක්කම පදක්කම්ලාභීන් 59 දෙනෙකු වෙතත් පිරිනැමෙන අතර ඉතිරි පිරිස වෙත ජනපති ප‍්‍රශංසා සහතිකපත් පිළිගැන්වීම සිදු කෙරේ.

“සුරක්ෂිත හෙටක් – මෛතී‍්‍ර පාලනයක්” තේමාව යටතේ මතින් නිදහස් රටක් උදෙසා කි‍්‍රයාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ ජනවාරි 21 වනදා සිට 28 වනදා දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ද ප‍්‍රකාශයට පත් කරමින් පුළුල් වැඩසටහන් මාලාවක් පසුගිය දින කිහිපය තුළ කි‍්‍රයාත්මක කෙරිණි.

එහි ප‍්‍රධාන වැඩසටහනක් ලෙස මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ මෙහෙයවීමෙන් මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබේ.

“මෛතී‍්‍ර පාලනයක් – ස්ථාවර රටක්” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට අනුකූලව මතින් නිදහස් ශ‍්‍රී ලංකාවක් බිහිකිරීම මඟින් ආර්ථික, සමාජයීය, සංස්කෘතික වශයෙන් සංවර්ධනයට අදාළ පසුබිමක් සකස් කර තිබේ. මද්‍යසාර, දුම්කොළ හා නීති විරෝධි මත්ද්‍රව්‍ය භාවිතය ක‍්‍රමානුකූලව අඩුකිරීමෙන් සහ ඒවා භාවිතයෙන් වන හානිය අවම කිරීම මගින් සියලු ශ‍්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය හා යහපැවැත්ම දියුණු කිරීමත්, නිෂ්පාදන ඵලදායිතාව වැඩි කිරීමත්, දිළිඳුකම පිටු දැකීමත් අපේක්ෂා කෙරේ.

2014 වසරට සාපේක්ෂව 2020 වන විට ශ‍්‍රී ලංකාවේ නීති විරෝධි මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප‍්‍රවාහනය හා අලෙවිය 80‍% ක් පමණ අඩු කිරීමේ අරමුණ පෙරදැරිව ගරු ජනාධිපතිතුමාගේ සෘජු අධීක්ෂණයෙන් යුතුව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය පිහිටුවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × two =