ශී‍්‍ර ලංකා හමුදා සාමාජිකයින් වෙත එල්ල වූ ප‍්‍රහාරය පිළිබඳ ජනපති කණගාටුව පළ කරයි

(කොළඹ, ලංකාපුවත්) – මාලි දේශයේ සාම සාධක මෙහෙයුම්වල නිරතව සිටි ශී‍්‍ර ලංකා හමුදා සාමාජිකයින් වෙත එල්ල වූ ප‍්‍රහාරය පිළිබඳ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය කණගාටුව පළ කරයි.

එම ප‍්‍රහාරයෙන් ශ්‍රේෂ්ඨ ශී‍්‍ර ලාංකික පුත‍්‍රයින් දෙදෙනෙකු සිය ජීවිතය පරිත්‍යාග කළ පුවත ඇසීමෙන් තමා ඉමහත් කම්පාවට පත් වූ බව ජනාධිපතිතුමා සදහන් කර ඇත.

ඔවුන් සිය ජීවිත පරිත්‍යාග කළේ ජගත් මානව සංහතියේ නිදහස් අරමුණු සාක්‍ෂාත් කරදීම සඳහා බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන් එඩ්. ඩබ්.ඩී. ජයවික්‍රම සහ කෝප්‍රල් එස්. එස්. විජේකුමාර එහිදී තම ජීවිතය පූජා කර ඇත. ඊට අමතරව තවත් හමුදා සාමාජිකයින් තිදෙනෙක් එහිදී බරපතල ලෙස තුවාල ලබා තිබේ. එදා තම මාතෘභූමියේ නිදහස හා සාමය වෙනුවෙන් අභීතව සටන් කළ ඔවුහූ ඒ අභිමානයෙන්ම ජගත් සාම ක්‍රියාදාමයට එක්වූවෝය. ස්වාර්ථයෙන් මිදී පරාර්ථය උදෙසා කැප විය හැකි මිනිසුන් කවර දේශයක වුවද විරළ ය. මේ උදාර ලංකා පුත්‍රයන් මානව ඉතිහාසයට එක්වන්නේ එවන් වීරභූමිකාවක රණිවරුවන් ලෙස බවද ජනාධිපතිතුමා නිකුත් කළ ශෝක පණිවුඩයේ දැක්වේ.

ජීවිතක්‍ෂයට පත් වූ හමුදා සාමාජිකයින්ගේ පවුල් වෙත සිය සංවේගය පළ කරන ජනාධිපතිවරයා තුවාල ලැබූ තිදෙනාට ඉක්මන් සුවයද ප‍්‍රාර්ථනා කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *