උත්තර දේවි දුම්රියෙන් යාපනයේ ළමුන්ට තෑගි

(කොළඹ, ලංකාපුවත්) – නව උත්තර දේවි දුම්රි‍යේ මංගල සංචාරය සනිටුහන් කරමින් යාපනයේ දිස්ත්‍රික් පාසල් ළමුනට ත්‍යාග ‍බෙදා දෙයි. ඒ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සුරතිනි.

යාපනය දුම්රිය ස්ථානයේදී නව උත්තර දේවී දුම්රිය පිළිගනිමින් ඊයේ පස්වරුවේ (27) පැවැති සර්ව ආගමික වැඩසටහනින් පසුව එම ත්‍යාග බෙදා දීම සිදු කෙරිණ.

ප්‍රවාහන සහ සිවිල් ගුවන්‍සේවා අමාත්‍ය කාර්ලයෙහි පූර්ණ මෙහෙයවීමෙන් පැවැති එම සමාජ සත්කාරයට බොහෝ පිරිස් දායක වූහ. යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් ත්‍යාග හිමි පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් තෝරා ගැනිණ. එම පාසල් සිසුන්ට ත්‍යාග බෙදා දීමෙන් පසුව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මාධ්‍ය අමතමින් පැවසුවේ ඉදියේදී උතුර – දකුණ සහජීවනය ඇති කිරීමට රජය නව වැඩපිළිවෙලක් හඳුන්වා දෙමින් සිටින බවයි.

“අපේ බොහෝ අය වර්තමානයේදී ජීවත් වෙන්නේ ජාතීන් වශයෙන් බෙදිලා. ආගම් වශයෙන් බෙදිලා. නමුත් රටක් ලෙස ඉදිරියට යන්න නම් තවදුරටත් අපිට ජාතීන් වශයෙන් බෙදිලා, ආගම් වශයෙන් බෙදිලා සිටින්න බැහැ. අපි එකම ජාතියක් ලෙසට, එකම ශ්‍රී ලාංකේය ජාතියක් ලෙසට පෙළ ගැසෙන්නට ඕන. අපේ රජය දැන් සිටින්නේ ඒ සඳහා නව ක්‍රමවේද හඳුන්වා දෙමින්. උතුරු ප්‍රදේශයට දියුණු දුම්රිය සේවාවක් හඳුන්වා දීම එහි ප්‍රධාන ක්‍රමවේදයක්. මෙමඟින් උතුරත් දකුණත් යාවනවා පමණක් නොව සංවර්ධනයේ ප්‍රතිලාභ දෙදිසාවටම ගෙන යාමට අපිට හැකි වෙනවා. ඒ අනුව දුම්රිය පමණක් නොව යාපනය – කොළඹ දක්වා සුඛෝපභෝගී බස් සේවාවක් ආරම්භ කිරීමටත් අපේ අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතන අපේක්ෂා කරනවා. අද නව උත්තර දේවි දුම්රිය යාපනය බලා පැමිණියේ ඒ පණිවිඩයත් යාපනයේ ජනතාවට රැගෙන එමින් බවද මම අවධාරණය කරනවා….”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

කොළඹ – යාපනය කන්කසන්තුරේ ගමනාන්ත කර ගත් උත්තර දේවි දුම්රියට නව මුහුණුවක් ලබා දුන්නේ ඉන්දියාවෙන් ආනයනය කළ එස් – 13 වර්ගයේ බලවේග කට්ලයක් එක් කිරීමෙනි. ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ආනනයනය කළ එම බලවේග කට්ලය සඳහා රජය වැය කළ මුදල ඩොලර් මිලියන 9.6 ක් වේ.

එවැනි බලවේග කට්ටල 6 ක් රජය මෙරටට ආනනය කිරීමට අපේක්ෂා කරයි. ඒ සමඟම උතුරු දුම්රිය මාර්ගයට අදාලව යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව අපේක්ෂා වෙයි. එහි එක් අදියරක් ලෙස කිලිනොච්චිය අරවියල් නගර් උප දුම්රිය ස්ථානය විවෘත කිරීමද නව උත්තර දේවී දුම්රියේ මංගල ගමනේදී සිදු විය. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 20කි.

දුම්රිය ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාන්ශයේ ලේකම් එල්.පී. ජයම්පති, දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *