ජාත්‍යන්තර තරගවලට අලුත් ක්‍රීඩා නිල ඇඳුමක්

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර තරගවලට සහභාගීවන ජාතික සංචිතවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිල ඇඳුමක් හඳුන්වාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය සූදානම් වන බව වාර්තා වේ. පසුගියදා රැස්වූ ජාතික ක්‍රීඩා සභාව මේ පිළිබඳ සාකච්ඡා ආරම්භ කොට ඇති අතර ඒ සදහා අවශ්‍ය මූලික සැලසුම් සකස් කිරීම ශ්‍රීයානී කුලවංශ, අසංග සෙනවිරත්න හා සිදත් වෙත්තමුණි යන මහත්ම මහත්මීන්ට භාර කොට ඇත.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී වැඩි පදක්කම් ප්‍රමාණයක් දිනා ගැනීමට අවශ්‍ය උපදෙස් හා සැලසුම් සකස් කිරීම ද ජාතික ක්‍රීඩා සභාවේ අවධානයට යොමුව ඇති තවත් කරුණකි. එමෙන්ම ඉදිරි ජාත්‍යන්තර තරග සැලසුමක් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත ලබාදීමට ජාතික ක්‍රීඩා සභාව සූදානමින් සිටී. දැනට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාදෙන පෝෂණ දීමනා හා අනෙකුත් ගෙවීම් පිළිබඳ සමාලෝචනය කොට නිර්දේශ සැපැයීමටද ජාතික ක්‍රීඩා සභාවේ සාකච්ඡාවී තිබේ.

අලුතින් හඳුන්වාදීමට සූදානම්වන නිල ඇඳුම සියලු ක්‍රීඩා වලට පොදුවේ භාවිතා කළ හැකි එකක් විය යුතු යැයි යෝජනාවක්ද ඉදිරිපත්ව ඇත. දැනට ක්‍රිකට්, මලල ක්‍රීඩා, රගර්, පාපන්දු වැනි ක්‍රීඩා වලට වෙන වෙනම නිල ඇඳුම් නිර්මාණය වී ඇත.

මෙයට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වසර 2003දී නිල ඇඳුමක් නිර්මාණය කොට ලබාදුන් අතර එම නිල ඇඳුම නිර්මාණයේදී උපයෝගී කොට ගෙන තිබුණේ දහදිය ඉක්මනින් උරාගෙන වාෂ්පීකරණය වන “ලයික්රා” නම් රෙදි වර්ගයකි. ක්‍රීඩා තරගවලදී දහදියත් සමග ඇඟට නොඇලෙන මේ රෙදි වර්ගය සහිත ඇඳුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වැඩි කිරීමේ අමතර පහසුකමක් වන බවට ලොව පිළිගත් මතයක් වී ඇතැයි නිල ඇඳුම එළිදැක්වූ උළෙලේදී ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ හිටපු ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවැසීය. එම නිල ඇඳුම ලෝකයේ බොහෝ රටවල ක්‍රීඩා ඇඳුම් නිර්මාණය කරන මාස් හෝල්ඩිං ආයතනයේ අනුග්‍රහයෙන් නිර්මාණය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *