මත්ද්‍රව්‍යට උල්පන්දම් දෙන ඇතැම් දේශපාලඥයොත් ඉන්නවා – ඇමති තලතා

(කොළඹ, ලංකාපුවත්) – මත්ද්‍රව්‍යට උල්පන්දම් දෙන ඇතැම් දේශපාලඥයොත් සිටින බව ධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මෙම අදහස් පල කළේ රුපියල් මිලියන 500 වියදමින් ඉදිකිරීමට නියමිත වැලිමඩ නව අධිකරණ සංකීර්ණය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට ඉයේ(31) එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් එතුමිය පැවසූවේ,

මේ අධිකරණය පිහිටුවීමේ කටයුත්තේදී රවින්ද්‍ර සමරවීර ඇමතිතුමාගේ විශාල කාර්යය භාරයක් සිදුකලා. අධිකරණය ඉදිකිරීම සඳහා ඉඩමක් නොමැතිව ප්‍රශ්ණ රාශියක් ඇතිවුනා. ඒ සඳහා ඉඩමක් ඇමතිතුමාගේ මැදිහත්වීමෙන් ලබා දුන්නා. එහෙම ලබා නොදුන්නානම් පොඩි මුදලක් නෙමෙයි ලක්ෂ පන් දහසක් ආපහු යනවා. ඉඩම ලබාදීමත් සමඟ අපි අධිකරණ අමාත්‍යාංශයට පවරාගෙන අවශ්‍ය කටයුතු සිදු කර තිබෙනවා. මේ පලාත් වල අධිකරණ කටයුතු සිදුකිරීමේදී ජනතාව මෙන්ම විනිසුරුවරුත් ඉතා අපහසුතාවයට පත් වෙනවා. ඇතැම් විට නිල නිවාස නැහැ. අනෙකුත් පහසුකම් නැහැ. ඒක අපේ අඩුපාඩුවක් මෙන් ම දීර්ඝ කාලයක සිට එම කටයුතු ඉටු නොවීමට එය ද බලපා තිබෙනවා. බදුල්ලේ සිවිල් අභියාචනා විනිසුරුවරුන්ගේ විනිසුරු නිල නිවාස ඉදි කරන්න ලක්ෂ 700 ක් වෙන් කළා. ඒ වගේම සියඹලාන්ඩුව හා මොණරාගල විනිසුරු නිල නිවාසත් මේ වෙනකොට ඉදිවෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය වගේම විනිසුරුවරුන්ගේ අවශ්‍යතාව පිළිබඳවත් අපි සොයා බලන්න ඕනි. විශේෂයෙන් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව උපරිම වශයෙන් සිතන පතන රජයක් මේක. රත්නපුරයට අධිකරණ සංකීර්ණයක් ලබා දීමට මම කටයුතු කළා, නැතිනම් කියයි අධිකරණ ඇමති වෙලා හිටියා රත්නපුරයට උසාවියක්වත් දුන්නේ නෑ කියලා. මීට පෙර කතා කළ ඌව පලාතේ ආණ්ඩුකාරතුමා මත්ද්‍රව්‍ය තුරන් කිරීම පිළිබඳව වැදගත් කතාවක් සිදුකළා. දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති වල ඉඳලා අපිට වැඩ කරන්න පුළුවන් නමුත් අපි රටක් ලෙස ඉදිරියට යා යුතුයි. අධිකරණයේ ස්වාධීණත්වය ආරක්ෂා කිරීමේදී විධායකය ලෙස ගරු ජනාධිපතිතුමාට විශාල වගකීමක් තියෙනවා.

විනිසුරුවරුන් පත්කිරීම, උසස් කිරීම, විධායකවට අයිති දෙයක්. ව්‍යවස්ථාදායකය ලෙස අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් අපි උපරිමයෙන් ක්‍රියා කරනවා. කිසිම හේතුවකින් විනිසුරුවරුන්ට දුරකතන සංවාද අපේ අගමැතිතුමා දීලා නැහැ. ඒ ගැන ඇමතිවරියක් වශයෙන් මම සතුටු වෙනවා. අද හත්ලක්ෂ තිස් දාහකට වඩා නඩු අධිකරණ වල තියෙනවා. මේවා කඩිනම්න විසඳිය යුතුයි. ඒ සඳහා අපි ක්‍රියාමාර්ග රැසක් අරගෙන තියෙනවා. කොළඹ තියෙන අභියාචනාධිකරණය තවදුරටත් පලාත් වලට ව්‍යාප්ත කිරීමට ක්‍රියා කළ යුතුයි. බන්ධනාගාර වලට ගිහිල්ලා කතා කරන කොට ඒවායේ රැඳවියෝ ගොඩක් අය කියන්නේ නීතිපති උපදෙස් නැති නිසා ඇප ලබාගන්න බැරිව බන්ධනාගාරෙ ඉන්න වෙලා තියෙනවා.

මේ දැන් දුරකතන ඇමතුමක් ආවා වැලිකඩ බන්ධනාගාරයට සැරයන්වරයෙකු හෙරෝයින් අරන් ගිහිල්ලා, අහුවෙලා කියලා. අද බන්ධනාගාරයේ ඇතුලේ ඉඳලා ජාවාරම් කරන්න ඔවුන්ට අවස්ථාව ලැබිලා තියෙනවා. අපි දේශපාලඥයෝ ගෙදර යන්න පුළුවන් අපි ඕනිවෙලාවක ගෙදර යන්නත් ලැහැස්තියි. ඒත් අපි රට වෙනුවෙන් හරි දේ කරන්න ඕනි. අද දවසේ අපේ කාර්යය භාරය කරන්න ඕනි, අපි ශක්තිමත් වැඩ පිළිවෙලක් කරගෙන ආවා, ඒක ඔක්තෝම්බර් 26 වෙනිදා අපිව එලවන්න ආපු හින්දා පොඩ්ඩක් අඩපණ උනා. ඒ වැඩ පිළිවෙල නැවතත් ආරම්භ කරලා තියෙනවා. මත්කුඩු ජාවාරම ගැන අද සමාජය හුගක් දැනුවත් අද මුහුදු යන ධීවරයකුටවත් සැනසිල්ලේ යන්න නැහැ. මොකද මේ මත්කුඩු ප්‍රවාහණය මුහුද හරහාත් වෙනවා. අපි නැහැ කියන්නේ නැහැ මේවාට උල්පන්දම් දෙන ඇතැම් දේශපාලඥයොත් ඉන්නවා.

අධිකරණයේ, පොලිසියේ, පැමිණිලි නඩු එන විදිහට අපිට සංතෝෂ වෙන්න බැහැ. විශේෂයෙන් සඳහන් කළ යුතුයි වත්මන් අගමැතිතුමා යටතේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරලා තියෙනවා කියලා. අපි ලඟදි කැබිනට් එක හරහා පාසල් වල 6 – 7 වසරේ ඉඳලාම නීතිය උගන්වන්න වැඩපිළිවෙලක් සකස් කළා. කුඩා කාලයේ ඉදලම මූලික නීතිය, අපරාධ සිදුකිරීමේ ප්‍රතිවිපාක සම්බන්ධ නීතිසංග්‍රහය පිළිබඳව ළමා සමාජය දැනුවත්ව සිටීම තුලින් අපරාධ අඩු වෙනවා. රජයට මුදල් ආවා කියලා නඩු ප්‍රමාණය වැඩි වන තරමට උසාවි වැඩි වුනාට අපට සතුටු වෙන්න බැහැ. යයිද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙම අධිකරණ සංකීර්ණය තුල දිසා අධිකරණයක්, මහේස්ත්‍රාත් අධිකරණයක් ඇතුලු පහසුකම් වලින් සමන්විතය. නව අධිකරණ සංකීර්ණයේ ඉදි කිරීම් දින 790 කින් අවසන් කිරීමට නියමිතව තිබේ. එහි වැඩ අවසන් වන්නේ 2021 මාර්තු 31 ය. මීට සමඝාමීව අධිකරණ අමාත්‍යාංශය මගින් ඌව පළාත තුල ඉදිකරමින් පවතින සියඹලාන්ඩුව මහේස්ත්‍රාත් නිල නිවස ඉදිකිරීම සඳහා රු. ලක්ෂ 169 ක මුදලක් වෙන්කර තිබේ. මෙහි ඉදිකිරීම් කටයුතු මේ වෙනකොට ඉදිවෙමින් පවතී. 2019 වසරේ බදුල්ල සිවිල් අභියාචන විනිසුරු නිල නිවාස දෙකක් ඉදිකිරීම සඳහා යෝජනා වී ඇති අතර ඊට රු. මිලියන 70 ක මුදලක් වැය කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *