විදුලිබල ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට නෝර්වේජියානු රජයේ තාක්ෂණික සහාය

(කොළඹ, ලංකාපුවත්) – නෝර්වේජියානු රජය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබදතා තහවුරු කිරීමේ අරමුණෙන්, නෝර්වේ රජයේ තානාපති Thorbjorm Gaustadsaether මහතා, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සමග සුහද හමුවකට සහභාගී විය.

පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති මෙම හමුවේදී ශ්‍රී ලංකාව මේ වනවිට විදුලි උත්පාදනය වෙනුවෙන් යොදාගනු ලබන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්, ඒවායෙහි ඇති උපයෝගීතාව, විදුලි උත්පාදනය වෙනුවෙන්වන පිරිවැය, ඒ තුළින් ඇතිවන සමාජයීය බලපෑම්, පරිසර සාධක ආදි අංශයන් පිළිබදව නෝර්වේජියානු තානාපතිවරයා කරුණු විමසන ලදී. එසේම විදුලි උත්පාදනය හැරුණකොට, බලශක්ති සංරක්ෂණ ක්‍රමෝපායන් අනුගමනය කිරීම තුළින් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට ඇති හැකියාව පිළිබදවද නොර්වේ තානාපතිවරයා කරුණු විමසන ලදී.

තානාපතිවරයා විමසන ලද කරුණු වලට පිළිතුරු සපයමින්, ඉල්ලුමට සරිලන, මිල අවම, අඛණ්ඩ විදුලිබල සැපයුමක් වෙනුවෙන් විදුලිබල ක්ෂේත්‍රයේ දිශානතිය පුනර්ජනනීය ප්‍රභවයන් ‍වෙත යොමුකිරීම මෙන්ම, වැඩිවන ඉල්ලුම වෙනුවෙන් සැපයුමක් ලබාදීම සදහා විදුලිබල සංරක්ෂණ ක්‍රමෝපායන් අනුගමනය කිරීමද වැදගත් බව පැහැදිළි කළ අමාත්‍ය කරුණානායක මහතා, ඉදිරියේදී ඒ සම්බන්ධයෙන්ද ජනතාව යොමුකිරීමට ක්‍රමවත් වැඩපිලිවෙලක් සකස් කරන බව පැවසීය.

තවද, ශ්‍රී ලංකාව තුළ විදුලිය උත්පාදනය කිරීම වෙනුවෙන් යොදාගනු ලබන සාම්ප්‍රදායික මෙන්ම ප්‍රධානතම මූලාශ්‍රය ජලය බවත්, එමගින් අවම මිලක් යටතේ පරිසර හානියක් නොමැතිව විදුලි පාරිභෝගික ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදිය හැකි නමුත්, පවතින ජල මූලාශ්‍ර සියල්ලම පාහේ මේ වනවිටත් විදුලි උත්පාදන කාර්යය සදහා යොදාගෙන ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ අනුව දෛනිකව වර්ධනය වන විදුලි ඉල්ලුම සපුරාලීම පිණිස ඉන්ධන, ගල් අගුරු වැනි මූලාශ්‍ර වෙත යොමු වුවද, ඒ සම්බන්ධව පවතින මිල ගණන් හා වෙනත් ගැටලු සහගත තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය සූර්ය බලය, සුළං බලය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවූ බවද තානාපතිවරයාට පැහැදිළි කළේය.

මේ වනවිට ශ්‍රී ලංකාවේ වඩාත් සාර්ථක පුනර්ජනනීය බලශක්ති උත්පාදන මාර්ගය සූර්ය බලය බවද, ඒ තුළින් අවම මිලක් යටතේ පාරිභෝගිකයාට විදුලිය ලබාගත හැකිවී ඇති අතරම නිෂ්පාදිත අතිරික්තය ජාතික පද්ධතියට එක්කිරීම මගින් ආර්ථිකමය ප්‍රථිලාභයන්ද හිමිකර ගැනීමට විදුලි පාරිභෝගිකයාට හැකිවී ඇති බව අමාත්‍ය කරුණානායක මහතා පැහැදිළි කළේය.

ශ්‍රී ලංකාව විදුලිබල සැපයුම තුළින් වඩාත් ප්‍රශස්ත මට්ටමක සිටින බවත්, තවදුරටත් විදුලිබල ක්ශේත්‍රය වර්ධනය කිරීම පිණිස අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය සහයෝගය ලබාදීමට නෝර්වේ රජය වෙනුවෙන් තමා එකගවන බවත් පැවසීය. එසේම විදුලිබල ක්ෂේත්‍රය තුළින් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් නෝර්වේජියානු රජයේ අවධානය යොමුකර අදාළ ක්‍රමවේදයන් අනුගමනයට අදාළ අංශ සමග සාකච්ඡා පැවැත්වීමට අදහස් කරන බවද තානාපතිවරයා, අමාත්‍ය කරුණානායක මහතාට පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *