ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩිනමින් ශක්තිමත් කළයුතු බව ජනපති පවසයි

(කොළඹ, ලංකාපුවත්) – රටට ද්‍රෝහි සියලූ බලවේග පරාජය කිරීම වෙනුවෙන් ඉදිරි මාස 03 තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් ජනතා බලවේගයක් බවට පත්කිරීමට රටට ආදරය කරන සියලූදෙනා එක්විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නව දිසා කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ(31) පස්වරුවේ එක්වෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙල යටතේ රට පුර නව දිස්ති්‍රක් කාර්යාල ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙන අතර ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාපිත කෙරුණු මෙම නව කාර්යාලය නො 65, ආනන්ද රාජකරුණා මාවත, කොළඹ 10 ස්ථානයේ පිහිටුවා තිබේ.

නව කාර්යාල පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක තිලංග සුමතිපාල මහතා විසින් ගෞරවයෙන් පිළිගනු ලැබීය.

සමරු ඵලකය නිරාවරණය කර කාර්යාලය විවෘත කළ ජනාධිපතිතුමා එහි තිබූ අමුත්තන්ගේ පොතෙහි විශේෂ සමරු සටහනක් ද තැබීය.

අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ අද අප කතා කළයුත්තේ දේශපාලන පක්ෂ හෝ නායකයන් පරාජය කිරිම පිළිබඳව නොව රටට සහ ජනතාවට ද්‍රෝහි බලවේග නිවරැදිව හ`දුනාගෙන ඒවා පරාජය කිරීම පිළිබදව බවයි.

සෑම දේශපාලන පක්ෂයකම රටට ආදරය කරන අවංක පිරිසක් සේම තමන් ගැන පමණක් සිතන රටට ද්‍රෝහි පිරිසක් ද සිටින බව පැවසූ ජනාධිපතිතුමා පිරිසිදු ශක්තිමත් ජනතාවදී දේශපාලන ගමන්මගක් කරා යන ගමනේ දී ඊට සුදුසු නායකයන් සහ කි්‍රයාකාරින් හදුනාගත යුතු බව ද කියා සිටියේය.

එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ මෙම 2019 වසර මැතිවරණ වසරක් මෙන්ම රටට අලූත් ආණ්ඩුවක් හදන වසරක් බවයි. එම ගමන වෙනුවෙන් ජනතාවාදී දේශමාමක සහ දේශහිතෛෂි දේශපාලන පක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් කිරීමේ වගකීම අවධාරණය කළ ජනාධිපතිතුමා එම වගකීම ඉටුකිරීමට කැපවන ලෙස ද සමස්ත පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ ය.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා ද මෙහිදී උත්සව සභාව ඇමතීය.

මහාසංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, එස්.බී. දිසානායක, ෆයිසර් මුස්තාපා, ඩිලාන් පෙරේරා, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, සරත් ඒකනායක යන මහත්වරුන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ති්‍රක් නායක තිලංග සුමතිපාල මහතා ඇතුළු සංවිධායකවරුන් ඇතුළු ක්‍රියාකාරිහු මීට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *