මැකෝගේ ඉල්ලීම කඩිනමින් ක්‍රියාවට

(කොළඹ, ලංකාපුවත්) –පළාත් සභා ඡන්දය පැවැත්වීමට හා මැතිවරණ නීති රීති යාවත්කාලීන කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කළ ඉල්ලීම වහාම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

අමාත්‍ය මණ්ඩලය මගින් අනුමත කර නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව සකස් කොට නීතිපතිවරයා නිමා කළ මැතිවරණ නීති කෙටුම්පත්, යාවත්කාලීන කළයුතු යැයි මැතිවරණ කොමිසම අදහස් කරන කරුණු, නව නීති හඳුන්වාදිය යුතු යැයි සලකන ක්ෂේත්‍ර යනාදී කරුණු 13ක් යටතේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කිරීමේ යෝජනාව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සභානායක, රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමයන් හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙත යොමු කිරීමට පියවර ගනු ලැබීය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ඉල්ලීම කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේ දී සාකච්ඡාවට ගැනිණි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කළ ඉල්ලීම පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මතය විමසීමට ද සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පියවර ගෙන ඇත.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට අදාළ සියලු පාර්ශ්ව සමඟ අදහස් හුවමාරු කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වහාම පත් කිරීමට රජය තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *