කලපු ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරය නැංවීමට වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) –තිරසර සංවර්ධන ඉලක්ක ජයගනිමින් “ නිල් ආර්ථික ” වැඩපිළිවෙල යටතේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී නිලධාරිවාදයට රටේ සංවර්ධනය අඩාල කිරීමට කිසි ලෙසකින් ඉඩ නොදී රටට ජනතාවට වඩාත් ඵලදායි ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කර එහි ප්‍රතිලාභ ජනතාවට මෙන්ම රටට හිමිකරදීමට සියළු දෙනා එකාවන්ව එක්ව කටයුතු කල යුතු බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ධීවරයා මෙන්ම ධිවර කර්මාන්තය රැකගැනීමට වසර 20 ක් තිස්සේ කිසිවකු කටයුතු නොකළ බවය .

එනිසාම විනාශය කරා යමින් තිබු ධිවර කර්මාන්තය රැකගැනීම වෙනුවෙන් කටයුතු කිරීම තම වගකීම බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යතුමා සියළු කටයුතු වලට ප්‍රථම ධිවර ජනතාව දැනුවත් කර ඔවුන්ගේ අදහස් අනුව සැලසුම් සකස් කිරීම සාර්ථකත්වය ලබාගැනීමට මුලික පියවර බව සදහන් කළේය.

ධිවර අමාත්‍යංශය සහ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශ ඒකාබද්ධව කලපු ආශ්‍රිත පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය පිලිබදව ධිවර අමාත්‍යංශයේදී අද (05) දින පැවති සාකච්ජාවේදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ බව පැවසිය.

රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ජාවට ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව , ධිවර අමාත්‍යංශයේ තොටුපල සහ කලපු සංවර්ධන ව්‍යාපෘතිය , වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව , ජාතික ධිවර මහා සම්මේලනය මෙන්ම මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ගුවන් නගර සංවර්ධන ව්‍යාපෘතියේ ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියහ .

මෙම කලපු ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය ධීවරයා මෙන්ම ධිවර කර්මාන්තයත් , කලපුව මෙන්ම පරිසර පද්ධතියත් රැකගනිමින් ධිවර ජනතාවගේ ආර්ථික , සමාජීය සංවර්ධනය වැඩිදියුණු කරලීමේ අරමුණින් ක්‍රියාත්මක කල යුතු බව සාකච්ජාව ආරම්භයේදීම රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය .

ධිවර අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන කලපු සංවර්ධන වැඩසටහන් සමග සමගාමිව පරිසර හිතකාමී කලපු සංචාරක ව්‍යාපෘතිය මගින් රටට ශක්තියක් විය හැකි බව සදහන් කල රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා “ මහා ධන උල්පතක් වන සාගරයෙන් හෝ ජලසම්පතින් ශ්‍රී ලංකාව ලබාගෙන ඇත්තේ කුමක්ද . ලබාගෙන ඇත්තේ සියයට 09 ක් වැනි සුළු ප්‍රතිඵලයක් . නමුත් මේ සාගරයෙන් සහ ජලයෙන් උපරිම ප්‍රතිඵල ලබාගන්නේ නම් රට සංවර්ධනය කිරීමට එයම ප්‍රමාණවත් . ඒ නිසා හුරෑ කෑම , ගසා කෑමට නැවතීමේ තිත තබා රටට ජනතාවට ප්‍රතිඵලදායක ව්‍යාපෘති කෙරෙහි වැඩි අවදානය යොමුකර කටයුතු කල යුතු බව මගේ අරමුණයි . ”

“ මගේ අපේක්‍ෂාව ධීවරයා සමග රට නගාසිටුවීම , මෙහිදී වැඩ නොකැරෙන තැනට කටයුතු නොකර කල හැක්කෙ කුමක්ද එය කෙරෙන පරිදි කටයුතු කිරීමට සියළු දෙනාම වගකීම් සහිතව කටයුතු කල යුතුයි . ඇතැම් ආයතන සංවර්ධනයට තියෙන රජයේ ඉඩම් මායිම් ගහගෙන අයිතිය කියාගෙන ඉන්නවා . නමුත් එම ඉඩම් වලින් රටට ලැබෙන්නේ මොනවද . මේ ඇතැම් නිලධාරීන් ඒ රටට ලැබෙන සියල්ල නවත්වලා තියෙනවා . ඒ නිලධාරීවාදය නිසයි . ඒ නිසා සැබෑ ලෙසම රට ජනතාව ගැන සිතා යම් ප්‍රතිඵලයක් ලැබෙන වැඩක් කරනවද ඒ සදහා සෘජු ප්‍රතිපත්තියක් යටතේ ක්‍රියාත්මක කල යුතුයි . එහෙම නැතිව මේ රටේ වැඩක් කරන්න බැහැ . “ යයිද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය .

කලපු ආශ්‍රිත පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය පිලිබදව අමාත්‍යංශ දෙකේ නිලධාරීන්ගෙන් සමන්විත කම්ටුවක් පත් කිරීමට තීරණය වූ අතර . පළමුව මෙම සංචාරක ව්‍යාපෘතිය පිලිබදව ධිවර ප්‍රජාව මෙන්ම ධිවර සංගම් සහ එම ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීමටද මෙම සාකච්ජාවේදී තීරණය කෙරිණ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *