ලංකාවේ කුඹුරු චන්ද්‍රිකා තාක්ෂණයෙන් පරිඝනක සිතියම්කරණය ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) – ගොවිජන සේවා මධ්‍යස්ථානයන්හි දැනට පවතින කුඹුරු නාමලේඛනයන් නිවැරදි සංඛ්‍යාලේඛන දත්තවලින් තොරවීම හේතුවෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පසුගිය කාලය තුළ විවිධ ගැටළුවලට මුහුණ පා ඇති බව එහි නිරීක්ෂණයට ගිය කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතාට දෙපාර්තමේන්තු නිලධාරීන් පැවසීය.

මේ හේතුව නිසා ඇතැම් ග්‍රාම නිලධාරි කොට්ඨාසවල කුඹුරුලාභීන්ගේ භූමි ප්‍රමාණය නිර්ණයේදී නිවැරදි භූමි ප්‍රමාණය සටහන් නොවීම නිසා පොහොර සහනාධාරය ලබා දීම, කුඹුරු ඉඩම් සඳහා වගා හානි ලබා දීම මෙන්ම වාර්ෂික අපේක්ෂිත අස්වැන්න පිළිබඳ වාර්තා සැකසීමට ද මින් බාධාවක් වී ඇති බව නිලධාරීන් අමාත්‍යවරයාට කීය.

ඒ අනුව ලංකාව පුරා පවතින කුඹුරු කැබලි මිලියන 02 (මහවැලි ඉඩම් හැර) ක ප්‍රමාණය නිසි ආකාරයෙන් අධි සංඛ්‍යාත චන්ද්‍රිකා ඡායාරූප යොදා ගෙන කුඹුරු නාම ලේඛනය පරිඝනක ගතකරණය හා සිතියම්කරණයෙහි අවශ්‍යතාවය අමාත්‍යවරයාට පෙන්වා දුන්නේය.

වර්ල්ඩ් වීව් ටූ ඇමරිකානු චන්ද්‍රිකාව උපයෝගී කරගෙන ඒ අනුව ගම්පහ, යාපනය හා මාතලේ දිස්ත්‍රික්කයන්හි මේවනවිට කුඹුරු ඉඩම් සිතියම් ගත කොට පරිඝනක දත්තවලට ඇතුළත් කර ඇති බව එහිදී ප්‍රධාන ඉංජිනේරු ප්‍රභාත් විතාරණ මහතා අමාත්‍යවරයාට දැන්වීය.

මෙතෙක් සිතියම් ගත නොවූ කුඩා ඇළ මාර්ග, පොදු කමත්, දිය උල්පත්, කෘෂි මාර්ග ද මෙමඟින් සිතියම් ගත කළ හැකි බවත්, මිනිස් ශ්‍රමය අල්ප වශයෙන් යොදා ගැනීම හා සිතියම්ගත කිරීමට වැයවන මුදල අවම වීම විශේෂත්වයක් බව ඉංජිනේරුවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ගම්පහ චන්ද්‍රිකා තාක්ෂණය යොදාගෙන සිතියම්කරණය සඳහා රුපියල් මිලියන 05ක් වැය වී ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ලංකාව තුළ කුඹුරු ඉඩම් හැකි ඉක්මනින් පරිඝනක සිතියම්ගත කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා, ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එම්.බී.වීරසේකර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *