‘මධුෂ්‘ ජ්‍යෙ. නි පොලිස්පති ලතීෆ්ට අභියෝග කරලා

(කොළඹ, ලංකාපුවත්) –’හැකිනම් අත්අඩංගුවට ගෙන පෙන්වන්න’ යැයි ඉකුත් දා අත් අඩංගුවට ගත් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මාකඳුරේ මධුෂ් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතිෆ් මහතාට දුරකථනයෙන් අභියෝග කර තිබූ බවට තොරතුරු ලැබී තිබේ.

ඔහු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පමණක් නොව සමස්ත මත්ද්‍රව්‍ය ජාවාරමේ මර්දනය කිරීම පිණිස මෙහෙයුම්වල යෙදෙන පොලිස් නිලධාරීන් ගණනාවකටම පසුගිය කාලය පුරා තර්ජන එල්ල කර ඇති බවද තොරතුරු අනාවරණය වෙයි.

නියෝජ්‍ය පොලිස්පති ලතිෆ් මහතාට බරපතළ ලෙස මෙසේ අභියෝග ඉදිරිපත් වී තිබූ බවට විශේෂ කාර්ය බළකා ආරංචි මාර්ග සඳහන් කරන අතර, මෙම අභියෝග බාරගෙන නියෝජ්‍ය පොලිස්පතිවරයා මධුෂ් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දිගින් දිගටම වර්ධනය කරමින් ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාව දක්වාම එම මෙහෙයුම් ඉතාමත් සූක්ෂමව සිදුකළ බවද එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

ජාත්‍යන්තරය ද සම්බන්ධ කර ගනිමින් ඔත්තු සේවා ශක්තිමත් කරමින්, ඔත්තු කරුවන් විදෙස් රටවලට යවමින්, එම මෙහෙයුම් දියත් කළ බව වාර්තා වන අතර, මෙරට කළ මෙහෙයුම්වලින් මධුෂ් ගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ සාමාජිකයන් වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ද විශේෂ කාර්ය බළකාය මගිනි.

මේ අතර විශේෂ කාර්ය බළකාය සිය මෙහෙයුම් තවදුරටත් වැඩි කරමින් ඊයේ පෙරවරුවේ සිට කළ මෙහෙයුම්වලින් වත්තල ප්‍රදේශයේ දී මාකදුරේ මධුෂ්ගේ සහ ඩී. මංජුගේ ගෝලයන් තිදෙනකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් එම සැකකරුවන් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත ඉදිරිපත් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *