මිරිස්ස තල්මසුන් නැරඹීමට සංචාරකයින්ගෙන් දැඩි කැමැත්තක්

(කොළඹ, ලංකාපුවත්) –නව ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය ආරම්භ වීමත් සමඟ ඉකුත් සතිය තුල මිරිස්ස ප්‍රදේශයේ තල්මසුන් නැරඹීමට පැමිණි සංචාරකයන්ගෙන් ලැබුණු ආදායම රුපියල් එක්කෝටි පනස් ලක්‍ෂයකට අධික බව, මිරිස්ස වනජීවි කාර්යාලය පවසයි.

අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් නව ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම පසුගියදා ආරම්භ කෙරිණ. දක්‍ෂිණ වෙරළ තීරයේ තල්මසුන් නැරඹීම බොහෝ ප්‍රචලිතයි. මේ සඳහා දෙස්-විදෙස් සංචාරකයන් දක්වන්නේ දැඩි කැමැත්තකි.

මිරිස්ස ප්‍රදේශයේ තල්මසුන් නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට සේවා සපයන ආයතන 50කට අධික සංඛ්‍යාවක් පවතී. නීත්‍යානුකූල බලපත්‍රයකින් පමණක් යාත්‍රාවන්ගෙන් ගොස් තල්මසුන් නැරඹීමට හැකිය.

එම සතුන්ගේ ස්වභාවික පැවැත්මට අවහිර වන ලෙස යාත්‍රා පැදවීම, ආහාර ද්‍රව්‍ය දැමීම හෝ වෙනත් අපද්‍රව්‍ය දැමීම තහනම් වේ. සංචාරක ප්‍රවර්ධනය සහ පහසුකම් සැලසීමේ අරමුනින් දෙස්-විදෙස් සංචාරකයන්ට ප්‍රවේශ පත්‍ර ලබාදීමේ වැඩසටහන ද පසුගියදා සිදු කෙරිණ.

නව ප්‍රවේශ පත්‍රය මෙම ක්ශීරපායි සත්වයින් සිටින මුහුදු සීමාවේ පමණක් යාත්‍රා කිරීමටත්, සත්වයින් නැරඹීමට නියමිත වේලාවන් හා දිනයට පමණක් වලංගු වේ. ටිකට්පත අන්සතු කළ නොහැකිවේ. දේශීය වැඩිහිටි සංචාරකයෙකුගෙන් රුපියල් 150ක් ද, ළමා ප්‍රවේශ පත්‍රයක් රුපියල් 75ක් ද වේ. විදේශිකයෙකුගෙන් අය කෙරෙන මුදල අමෙරිකානු ඩොලර් 15ක්වේ. ළමා ප්‍රවේශ පත්‍රය ඉන් අඩක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *