(කොළඹ, ලංකාපුවත්) –නීති විරෝධී ලෙස විදුලිය ලබාගැනීම සම්බන්ධයෙන් පසුගිය වසර තුළ සිදුකරන ලද වැටලීම්වලදී රුපියල් මිලියන 130කට අධික මුදලක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් අයකරගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.
විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය දීප ව්යාතප්තව සිදුකරන ලද වැටලීම්වලදී එම වසර තුළ නීති විරෝධීව විදුලිය ලබාගත් පුද්ගලයින් 2522 දෙනෙකු නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකි වී ඇති බව එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේය.
මීටර් වෙනස් කර විදුලිය ලබාගැනීම් සම්බන්ධ සිද්ධීන් 2269ක් සහ කොකු යොදා අනවසර ලෙස විදුලිය ලබාගැනීමේ සිද්ධීන් 253ක් ඒ අතර වන බව සදහන්.
එහිදී එම පුද්ගලයින්ගෙන් විදුලිබල මණ්ඩලයට වු අලාභය ලෙස 12 කෝටි එක්ලක්ෂ 34,324ක මුදලක් සහ නඩු ගාස්තු ලෙස එක් කෝටි එක් ලක්ෂ 51500ක මුදලක් අයකරගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සදහන් කළේය.
වංචනික ලෙස විදුලිය පරිහරණය කිරීමේ සිද්ධීන් පිළිබඳ අඛණ්ඩව වැටලීම් සිදුකෙරෙන අතර ඒ සම්බන්ධයෙන් 0112 422 259 යන දුරකථන අංකයට හෝ 1901 සහ 1987 යන ක්ෂණික දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස විෂය භාර අමාත්‍ය රවී කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.