ඉල්ලුම් කරන සැමට ඉදිරියේදී විදුලි සබඳතා

(කොළඹ, ලංකාපුවත්) – කිසිඳු බාහිර සාධකයක් නොසලකා,මානව අයිතිවාසිකමක් පමණක් සේ සලකා, ඉල්ලුම් කරන සැමට ඉදිරියේදී විදුලි සබඳතා ලබාදීමට කටයුතු කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා පවසයි.

ජාතික මට්ටමෙන් පළාත්සභාවල තිබෙන ප්‍රශ්න විසදීම යටතේ බස්නාහිර පළාත්සභාව තුළ ජීවත්වන ජනතවට බලපා ඇති ගැටලු, දුෂ්කරතා අධ්‍යයනය කර අදාළ ගැටලු විසදීම වෙනුවෙන් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කිරීම සදහා ඊයේ (11) පෙරවරුවේ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා හමුවූ අවස්ථාවේ, විෂයබාර අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

“අද වනවිට සමස්ත දිවයිනේ බොහෝමයක් දිස්ත්‍රික්කවල විදුලියනය 100‍%ක් බවට පත්කර තිබෙනවා. යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, පුත්තලම, කුරුණෑගල, මාතලේ, බදුල්ල සහ මොණරාගල යන දිස්ත්‍රික්කයන්ගේ 1‍%ක් වැනි සුළු ප්‍රමාණයන්ගෙන් තවමත් විදුලිය නොමැති ජන කොටස් ජීවත් වෙනවා. මූල්‍ය අවහිරතා, ප්‍රධාන ජාලයට ලගාවිය නොහැකි ස්ථානවල ජීවත්වීම, සාම්ප්‍රධායිකත්වය, ඉඩම් හිමිකාරීත්වය නොමැතිකම වැනි යම් යම් හේතූන්මත මෙම 1‍%ක ප්‍රමාණයක් තවමත් විදුලි එළිය නොලබා සිටිනවා. මෙයින් වැඩිවශයෙන් බලපා ඇති ගැටලුව ලෙස, නව විදුලි සබදතා ඉල්ලුම් කිරීමේදි ලංකා විදුලිබල මණ්ඩලය වෙත සපුරාලිය යුතු අවශ්‍යතාවන් බලපා ඇති බව වාර්තා වෙනවා.

විදුලිබල මණ්ඩලයේ ස්ථාවරත්වය, රදා පැවැත්ම බලපානු ලබන්නේ විදුලි පාරිභෝගික ජනතාව මතයි. එබැවින් අපි මූලිකව ඔවුන්ගේ විදුලි අවශ්‍යතා පිළිබදව අවධානය යොමු කළ යුතුයි. කෙනෙක් යම් ස්ථානයක කුලී පදනම, බදු පදනම ආදි ඕනෑම පදනමක් මත පදිංචිව සිටිනාවිට ඔහුට එහි යම් හිමිකාරිත්වයක් ලැබෙනවා. ඒ හිමිකාරිත්වය පමනක් පදනම් කරගනිමින්, මානව හිමිකමක් සේ සලකා ඉදිරියේදී විදුලිය ඉල්ලුම් කරන සැමට සබදතා ලබාදිමට අපි කටයුතු කරනවා” යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *