පැෆ්රල් සංවිධානයට වසර 30යි

(කොළඹ, ලංකාපුවත්) –පැෆ්රල් සංවිධානය පිහිටුවා වසර 30 ක් පිරීම නිමිත්තෙන් එළඹෙන පෙබරවාරි 14 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්සවයක් පැවැත්වීමට සූදානම්කොට ඇත.

පැෆ්රල් සංවිධානයෙහි ආරම්භය හා මේ දක්වා ගමන්මග පිළිබඳ සම්පාදිත ලිපියකි මේ….

නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක‍්‍රියාකාරීත්වය හෙවත් පැෆ්රල් සංවිධානය සිය ඵෙතිහාසික ගමන්මගේ තෙවැනි දශකය සම්පූර්ණ කිරීම සුවිශේෂී සංසිද්ධියකි. දශක තුනක මෙකී ගමන් මග සැකසී තිබුනේ රෝස මල් අතුල රතු පලස් මතින් නොවේ. මේ ඒ පටිසෝතගාමී චාරිකාව පිළිබඳ අතීතාවලෝකනයකි.

1970 සහ 80 දශකය තුල පාලකයන් විසින් තම පටු අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා සිදුකළ සමාජ ආර්ථික හා දේශපාලන ක‍්‍රියාකාරකම් වල ප‍්‍රතිඵලයක් ලෙස රටතුල භීෂණකාරී වාතාවරණයක් පැන නැගුනි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට දොරගුල් වැටුනු අතර මානව අයිතීන් එලිපිට උල්ලංඝණය කරන තත්ත්වයක් පැහැදිලිව දැකිය හැකි විය. සිවිල් ජනතාවට තම අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි වතාවරණයක් නිර්මාණය වූ අතර මානව අයිතිවාසිකමක් වන ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ අයිතිය පවා ජනතාවට අහිමි විය. අධ්‍යාපනය, රැකී රක්ෂා හා ආර්ථික ප‍්‍රශ්න මුල් කරගනිමින් උතුරේ හා දකුණේ තරුණ කැරලි නිර්මාණය වූ අතර රට දොකොන ගිනිගත් විලක්කුවක් බවට පරිවර්තනය විය.

ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම ජනතා අවශ්‍යතා වෙනුවෙන් හඬක් නැගීමට තිබුන මාධ්‍ය ද ඒක පාක්ෂික මාධ්‍ය ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා පොදු ජනතාව පත්වූයේ බලවත් අසීරුතාවයකටය. ප‍්‍රජාතන්ත‍්‍රවදයේ මුර දේවතාවුන් විය යුතු මාධ්‍ය අශීලාචාර අයුරින් ඒකාධිපතීත්වයේ ගොදුරු බවට පත් කර ගත්හ. සිවිල් ජනතාව රටතුළ හුදකලා වූ වහලුන්ගේ තත්ත්වයට පත්වී යැයි කීම අතිශෝක්තියත් නොවේ. කෙසේ නමුත් ශ‍්‍රී ලංකාවේ තත්ත්වය මෙලෙස පවතිද්දි ලෝකයේ වෙනත් රටවල් තුළද ඒකාධිපති පාලනයන්ට එරෙහිව උද්ඝෝෂණ පැන නගින්නට විය. ආසියානු රටවල පමණක් නොව දකුණු ඇමරිකා රටවල පවා මේ තත්ත්වය වර්ධනය වූ අතර ජනතා බලය (People power) පාලනය කල නොහැකි මට්ටමට වර්ධනය විය.

පිලිපීනයේ ආදර්ශය හා ශ‍්‍රි ලංකාව තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නැගිටීම

1970 දශකයේ ශ‍්‍රි ලංකාවේ එවකට පැවති දේශපාලන හා සමාජීය පසුබිමට සමගාමීව දේශපාලන ඒකාධිපතිවාදයට ප‍්‍රතිවිරුද්ධ බලයක් සේ නැගීසිටී අසියාතික රටක් ලෙස පිලිපීනය සඳහන් කල හැක. එවකට පිලිපීන ජනාධිපතිවරයා වූ මාකෝස්ගේ ඒකාධිපති පාලනය පිලිපීනයේ ජනතාව බලවත් ලෙස පීඩාවට පත්කල අතර අවසානයේදී මර්ධනකාරී පාලනයට නතු නොවූ පිලිපීන ජනතාව එම පීඩනයේ අතුරු ඵලයක් ලෙස මාකෝස් පාලනයට එරෙහිව නිදහස් හා සාධාරණ මැතිවරණයක් තුලින් ජනතාවාදී පාලනයක් උදෙසා පෙළ ගැසුනහ. එහි ප‍්‍රථිපලයක් ලෙස නිදහස් මැතිවරණයක් සඳහා ජනතා ව්‍යාපාරය (The National Citizens Movement for Free Elections) හෙවත් NAMFREL බිහිවිය.

1970 දශකයෙන් ඇරඹි යුගය ද ශ‍්‍රි ලාංකික ජනතාවද අත්විඳිමින් සිටියේ එවකට පිලිපීනයේ ජනතාව අත්විඳිමින් සිටි පීඩනයන් හා දුෂ්කරතාවයන්ය.
පිලිපීනයේ ජනතාව NAMFREL හරහා ඒකාධිපති මර්ධනකාරී පාලනයට එරෙහිව නැගී සිටියේ යම්සේද එකී ආදර්ශය ගුරුකොට ගනිමින් ශ‍්‍රී ලංකාව තුල පැෆ්රල් සංවිධානය බිහිවිය. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් PAFFRELහෙවත් නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක‍්‍රියාකාරීත්වය 1988 ජනමත විචාරණයේ දුෂිත භාවය පදනම් කරගනිමින් ගොඩනැගුනු ජනතා කළකිරීමක ප‍්‍රතිඵලයක් ලෙසද හැඳින්විය හැක.

පැෆ්රල් බලවේගයේ පුරෝගාමී වූ සිවිල් නායකයෝ

පිලිපීනයේ සිවිල් ජනතාව විසින් 1983 දී නැම්ෆ්‍රෙල් (NAMFREL – The Natiaol Citizens’ Movement for Free Elections)නමින් සංවිධාන ගතව නිදහස් හා සාධාරණ මැතිවරණයක් හරහා ජනතාවගේ සිවිල් අයිතීන් වෙනුවෙන් ක‍්‍රියාකාරී වු පරිද්දෙන්ම දිනෙන් දින ප‍්‍රජාතන්ත‍්‍රීය අයීතීන් උල්ලංඝණය වෙමින් ගැඹුරු නිද්‍රාශීලීත්වයක ගිලීසිටි සමාජයක එකී නිද්‍රාශීලීත්වයෙන් සමාජය අවදි කරන්නට එවකට සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක ධුරය හෙබවූ තිස්ස බාලසූරිය පියතුමා සහ මාර්ග ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ගොඞ්ෆ‍්‍රි ගුණතිලක මහතාගේ පුරෝගාමීත්වයෙන් පැෆ්රල් සංවිධානය නැමැති දසත පැතිරුණ මහා වෘක්ෂයක මූල බීජය රෝපණය කරන ලදී. ජනතා පරමාධිපත්‍ය බලය සුරක්ෂිත කිරීමේ කර්තව්‍යයේදී පැෆ්රල් වැනි ජනතා ක‍්‍රියාකාරීත්වයක වැදගත්කම අවබෝධ කරගත් ලංකාවේ විශාලතම ස්වේච්ඡා සංවිධානය වන සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මැතිතුමා සිය පිරිස් බලය ලබාදෙමින් දක්වන ලද සුවිශේෂී දායකත්වයද පැෆ්රල් ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන්නකි.

මැතිවරණ නිරීක්ෂණ ක‍්‍රියාවලියේදී සුවිශේෂී දායකත්වයක් දක්වන ලද සහෝදර සංවිධානයක් ලෙස නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක‍්‍රියාකාරීත්වය හෙවත් MFFE හැඳින්විය හැක. 1995 / 1996 වර්ෂ වල පැවති ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ නිරීක්ෂණ සඳහා පැෆ්රල් හා එක්ව ක‍්‍රියාත්මක වූ MFFE ඒකාබද්ධ මෙහෙයුම 2001 වර්ෂය දක්වා සිදුකරන ලදී. මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශීය නිරීක්ෂකයින් ගෙන්වා ගැනීමේ කර්තව්‍යයේදී MFFEප‍්‍රමුඛ කාර්ය භාරයක් ඉටුකර ඇති බව මෙහිලා සඳහන් කල යුතුය.

ආචාර්ය ගොඞ්ෆ‍්‍රි ගුණතිලක මහතාගේ අවෑමෙන් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂකවරයා බවට පත්වූ කිංස්ලි රොද්‍රිගූ මහතා පැෆ්රල් සංවිධානය ජනතාව අතරට ගෙන යන්නට දක්වන ලද්දේ සුවිශේෂි දායකත්වයකි. ජනතා විශ්වාසය දිනාගනිමින් සුවිශේෂී භූමිකාවක යෙදෙමින් පුරවැසියන්ගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කරදීම සඳහා පැෆ්රල් සංවිධානය ක‍්‍රියාකරද්දී 2004 වර්ෂය වන විට ඇතැම් කඩාකප්පල්කාරී පිරිස් පැෆ්රල් ක‍්‍රියාකාරකම් මුදලට යටත්ව සිදුකරන බවට බොරු ප‍්‍රචාර පතුරුවන්නට විය. සැබැවින්ම පැෆ්රල් ක‍්‍රියාකාරකම් නිසා කිපී තිබුනේ දූෂණ ක‍්‍රියාවල යෙදුන මැර දේශපාලකයින් බව මෙහිදී සඳහන් කළ යුතුය. ඔවුන්ගේ සුපුරුදු මැර දේශපාලනයට බලවත්ම බාධකය වූයේ පැෆ්රල් සංවිධානය බව පෙනෙන්නට තිබේ. කෙසේ නමුත් අවසානයේදී අවස්ථාවාදීන්ගේ බොරු ප‍්‍රචාර පුස්සක් බවට පත් කරමින් සත්‍ය හා යුක්තිය රටට හෙලිදරව් කරන්නට පැෆ්රල් සංවිධානයට වැඩි කලක් ගත නොවීය. ඕනෑම සමාජ ව්‍යාපාරයක් නිර්මාණය කිරීමේදී පසුකල යුතු අවධීන් කීපයක් ගැන මහත්මා ගාන්ධිතුමා සඳහන් කර ඇත. පලමු පියවර වන්නේ නොතකා හැරීමයි. ඉන් අකර්මන්‍යය කිරීමට නොහැකි වූ තැන සිදු කරනු ලබන්නේ සම්ච්චල් කිරීමයි. ඊළඟ පියවර තර්ජනය කිරීමයි. මෙම පියවර වලටද මුහුණ දෙමින් ඉදිරියට යනවිට සිදුවන්නේ මර්ධනය කිරීමට උත්සහ කිරීමයි. එකී පියවරද නිශ්ඵල වන්නේ අවසානයේදී සිදු වන්නේ පිළිගැනීමේ අවස්ථාව නිර්මාණය වීමයි. ඕනෑම සාර්ථක සමාජ ව්‍යාපාරයක අතීතය පිරික්සීමේදී මෙම අවධීන් 5 පසුකර ඇති බව පෙනෙන්නට දැකගන්නට හැකිය. නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක‍්‍රියාකාරීත්වය හෙවත් පැෆ්රල් සංවිධානයටද මේ තත්වයට මුහුණ දීම සිදුවූ අතර එම අසීරු අවධීන් පසුකර පිලිගැනීමේ අවස්ථාව දක්වා නිර්මාණය වී ඇති බවට දිය හැකි කදිම උදාහරණය වන්නේ එවකට මැතිවරණ කොමසාරිස්වරයා වූ චන්ද්‍රනන්ද සිල්වා මහතා පැෆ්රල් සංවිධානයේ අපක්ෂපාතී මැතිවරණ නිරීක්ෂණය අගය කරමින් ලබාදුන් වාර්ථාවය.

මෙයට පෙරද සඳහන් කර ඇති පරිද්දෙන් පැෆ්රල් සංවිධානය ජනගත කිරීමේ කර්තව්‍යයේ ගෞරවය හිමිවන්නේ කිංස්ලි රොද්‍රිගූ මහතාටය. ඒ සඳහා පැෆ්රල් සංවිධානය සමග අත්වැල් බැඳගත් දිවයින පුරා පිහිටි සිවිල් සංවිධාන සහ ජනතා මට්ටමේ ක‍්‍රියාකාරිකයන්ද ප‍්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කර ඇත.

පැෆ්රල් සංවිධානය විසින් සිදුකල අපක්ෂපාතී මැතිවරණ නිරීක්ෂණ හේතුකොට ගෙන මෙතෙක් ඡන්ද මධ්‍යස්ථානයෙන් පිටත සිට යම් අවධානමක් දරා ගනිමින් කටයුතු කළ මැතිවරණ නිරීක්ෂකයන්ට ඡන්ද මධ්‍යස්ථාන තුළ සිට සිය කටයුතු සිදුකරන්නට නිල අවසරය ලැබීම 2004 වර්ෂයේ සිදුවූ සුවිශේෂී සිදුවීමකි. තවත් ලෙසකින් පැවසුවොත් එය පැෆ්රල් ක‍්‍රියාකාරකම් ඇගයීමට ලක්වීමකි.

2004 දෙසැම්බර් මස 26 වන දින ශී‍්‍ර ලංකාවට මහත් විනාශයක් සිදුකල සුනාමි ව්‍යසනය පැෆ්රල් සංවිධානයේ සිය ක‍්‍රියාකාරකම් පුලූල් කිවීමේ එක් ප‍්‍රමුඛ හැරවුම් ලක්ෂයක් බවට පත්විය.සුනාමි ව්‍යසනයේදී විපතට පත් ජනතාව සිය නිවාස ශ‍්‍රමදාන මගින් සකස් කර ගැනීමට එක් පසෙකින් සහයෝගය දක්වද්දී අනෙක් පසින් උප්පැන්න පිටපත්, මරණ සහතික ආදී මූලික ලේඛන විනාශ වූ දහස් ගනනක ජනතාව වෙනුවෙන් සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි ජංගම සේවා පවත්වමින් එකී ලේඛන ලබාදීමට කටයුතු කිරීම විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයකි. එය පැෆ්රල් ගමන් මගේ නොමියෙන සංසිද්ධියකි.

70 දශකයෙන් පසු පැවැත්වූ බොහෝ මැතිවරණ වල දක්නට ලැබුනු සුවිශේෂී ලක්ෂණයක් වූයේ මැතිවරණ ප‍්‍රචණ්ඩත්වය හා හොර ඡන්ද දැමීමයි. 1988 ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ ඡන්දයද හොරට ප‍්‍රකාශ කිරීම තුළ මෙම තත්ත්වය කොතරම් ප‍්‍රබල ලෙස සමාජගතව තිබුනේ දැයි අවබෝධ කර ගත හැකිය. බොහෝ මැතිවරණවලදී විදෙස්ගත ශ‍්‍රමිකයින්ගේ ඡන්දය පවා හොරට ප‍්‍රකාශ කිරීම පිළිබඳව ඕනෑතරම් උදාහරණ අප අත්විඳ ඇත්තෙමු. එවැනි තත්ත්වයක් තුළ මැතිවරණයේ පැවතිය යුතු සුජාත භාවයද බරපතල ලෙස ප‍්‍රශ්නාර්ථයකට ලක් වෙමින් පැවතිනි. එම තත්වය තුළ මැතිවරණ වලදී ඡන්දය ප‍්‍රකාශ කිරීමට නම් නිල අනන්‍යතා ලේඛනයක් තිබිය යුතු බවට පැෆ්රල් සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුකරයක් ගොනු කරන ලදී. එහි ප‍්‍රතිඵලය ලෙස මේ වන විට ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා නිල අනන්‍යතා ලේඛනය අනිවාර්ය නෛතික අවශ්‍යතාවයක් බවට පත්ව තිබේ. එය ශ‍්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ නිදහස් හා සාධාරණ මැතිවරණ වෙනුවෙන් ගන්නා ලද ඵෙතිහාසික තීන්දුවක් බව අවිවාදිතය.

ඡන්ද විමසීම් සිදුවන අවස්ථා වලදී මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ සාර්ථකව ක‍්‍රියාත්මක වන සර්ව පාක්ෂික මෙහෙයුම් මැදිරිය පැෆ්රල් සංවිධානය විසින් ආරම්භ කළ සංකල්පයක ක‍්‍රමික විකාශනයකි. මැතිවරණ කාලසීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝණය වීම් නීති විරෝධී ප‍්‍රචාරක කටයුතු සහ ප‍්‍රචණ්ඩත්වයන් පාලනය කිරීම සඳහා මෙම ඒකකයේ ක්ෂණික මැදිහත් වීම සෑම දේශපාලන පක්ෂයක්ම ඇගයීමට පාත‍්‍ර වී තිබේ.

මීට අමතරව ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සමරනු වස් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් කථික තරඟ සාමාන්‍ය දැනීම තරඟ ආදිය පවත්වා අනාගත නායකත්වය බල ගැන්වීම සඳහා කටයුතු කොට ඇත. ඊට අමතර උතුරු නැගෙනහිර ප‍්‍රදේශ ඇතුලත් වන පරිදි 20000 කට අධික ප‍්‍රමාණයක් සඳහා ජාතික හැඳුනුම්පත් ලබාදීම වෙනුවෙන් ජංගම සේවා පවත්වා ඇති අතර ඡන්ද නාමලේඛන ප‍්‍රතිශෝධන ක‍්‍රියාවලිය පිළිබඳ ජනතාව දැනුවත් කර සෑම පුරවැසියෙක්ම ඇතුලත් ඡන්ද හිමි නාම ලේඛනය සකස් කර ගැනීම සඳහා දැනුවත් කිරීමේ වැඩ සටහන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි පවත්වා ඇත. විශේෂයෙන්ම එකී දැනුවත් කිරීම් වල ප‍්‍රතිඵලයක් ලෙස වතු ආශ‍්‍රිත ජනතාවට ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වීමේ වැදගත්කම අවධාරණය කරන්නට හැකි වූ අතර එතෙක් ඡන්දහිමියන් ලෙස ලියාපදිංචි නොවී සිටී විශාල පිරිසක් ඡන්ද හිමි නාමලේඛනයට ඇතුලත් කරන්නට හැකියාව ලැබී තිබේ.

එම තත්ත්වයෙන් ඉදිරියට යමින් අවස්ථා ගණනාවකදී ජාතික මට්ටමින් වැදගත්කමක් සහිත බොහෝ සිදුවීම් වලදී පැෆ්රල් සංවිධානය අධිකරණමය ක‍්‍රියා මාර්ග වලට යොමු වී ඇත. ජාතික හැඳුනුම්පත අනිවාර්ය කිරීමට අදාල නඩුකරය, රාජ්‍ය දේපල අවභාවිතා කර මැතිවරණ කටයුතු වල යෙදීමට එරෙහිව පැවරූ සිල් රෙදි නඩුව සහ පළාත් සභා සහ පළාත් පාලන ඡන්ද විමසීම් කල් දැමීමට එරෙහිව අවස්ථා ගනණාවකදී අධිකරණ ක‍්‍රියා මාර්ග ගැනීම මේ තත්වයට කදිම නිදසුනකි. ඉහතින් සඳහන් කර ඇත්තේ පැෆ්රල් සංවිධානය මගින් රටතුළ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් සුරක්ෂිත කිරීමේ කාර්තව්‍යයේ ප‍්‍රතිඵලයක් ලෙස රටට දිනාදුන් ජයග‍්‍රහණ වලින් බිඳකි.

2015 වර්ෂය පැෆ්රල් සංවිධානය ශ‍්‍රි ලාංකික දේශපාලනයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ වර්ෂයකි. ශ‍්‍රි ලංකාව වර්තමානය වන විට අත්විදින අර්බුදකාරී තත්ත්වයට ප‍්‍රබලම හේතුවක් වී ඇත්තේ දේශපාලන සංස්කෘතියේ බිඳවැටීමයි. එම අවාසනාවන්ත තත්වයෙන් රට ගොඩනැගීමට නම් දේශපාලන සංස්කෘතියේ ප‍්‍රබල වෙනසක් සිදුවිය යුතු බවට විශ්වාස කරන අප ඒ වෙනුවෙන් මැතිවරණ නිරීක්ෂණයෙන් ඔබ්බට ගොස් මැතිවරණ සඳහා යහපත් අපේක්ෂකයින් තෝරා ගැනීම සඳහා නිර්ණායක ඇතුලත් මාර්තු 12 ව්‍යාපාරය ගොඩනගා ඇත. මාර්තු 12 ව්‍යාපාරය ශ‍්‍රී ලංකා දේශපාලන සංස්කෘතියේ සාධනීය මට්ටමට ගෙන ඒමට දරනුයේ සුවිශේෂී උත්සාහයකි. මාර්තු 12 ව්‍යාපාරයේම දිගුවක් ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් සමන්විත පිරිසිදු දේශපාලන සංස්කෘතියක් සඳහා වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාමූහිකය බිහි වී ඇති අතර එකී සාමූහිකය හරහාද දේශපාලන සංස්කෘතියේ යහපත් වෙනසක් වෙනුවෙන් විවිධ ක‍්‍රියාකාරකම් සිදුකරමින් සිටී.

මේ වසර 30ක පැෆ්රල් ගමන්මගේ මතකයෙන් බිඳකි. අප සැමගේ අපේක්ෂාව විය යුත්තේ වඩා යහපත් රටකි. එකී යහපත් රාජ්‍ය ඉබේ පහල වන්නක් නොවේ. ඒ සඳහා අප සැමට යම් යම් කැප කිරීම් කළ යුතුය. අපගේ ආකල්ප වෙනස් කරගත යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝණය වන අවස්ථා වලදී නිහඬව නොසිට නැගී සිටිය යුතුය. තනි තනිවමත් කණ්ඩායමක් ලෙසත් අප වෙත පැවරී ඇති වගකීම සහ යුතුකම් නිවැරදිව ඉටු කරන්නේ නම් යහපාලන මූලධර්ම වලින් සපිරි සාමකාමී රටක් අපගේ දරුවන් සඳහා නිර්මාණය කිරීම අපහසු කටයුත්තක් නොවෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 + 13 =