ඩුබායි සැකකරුවන් ගැන මෙරට දැඩි අවධානයෙන්

(කොළඹ, ලංකාපුවත්) – මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වීම හේතුවෙන් ඩුබායිහි දී අත්අඩංගුවට ගැනුණු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල නායකයකු වන මාකඳුරේ මදූෂ් ඇතුළු සැකකරුවන් පිළිබඳ ඩුබායිහි දී සිදුකෙරෙන විමර්ශන කටයුතු සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මාකඳුරේ මධූෂ් සහ ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළුව 31 දෙනකු ඩුබායි හි පිහිටි තරු පංතියේ හෝටලයක දී පසුගිය දා අත්අඩංගුවට ගත් අතර මොවුන් සම්බන්ධයෙන් මේ වනවිට නීතිමය කටයුතු ක්‍රියාත්මක බවද එම අමාත්‍යාංශය පෙන්වාදෙයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් සමඟ මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවද එරට නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් මොවුන් අත්අඩංගුවට තිබෙන අතර විමර්ශන අවසන් වනතුරු ඒ සම්බන්ධයෙන් සමීපව කටයුතු කරන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.

කෙසේ වුවද මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර විදේශීකයන් කිහිප දෙනෙක් සහ කාන්තාවන් ද සිටින බවට වාර්තා වන අතර ඒ අතර රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් හිමි අයෙකු ද සිටින බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය 4 වැනිදා රාත්‍රී ඩුබායිහි හෝටලයක පැවති සාදයක් අතරතුර අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ් ඇතුළු කණ්ඩායම සම්බන්ධයෙන් ඩුබායි පොලීසිය සිදුකළ පරීක්ෂණ මේ වනවිට අවසන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *