ශ්‍රමික වැටුප් ගැටළුව විසඳන්න ජනපතිගෙන් කමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රමිකයින්ගේ වැටුප් ප්‍රශ්නය ඇතුළු තේ කර්මාන්තය ආශ්‍රිත ගැටලු පිළිබඳ සොයා බලා ඊට ලබා දිය හැකි විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ(13) සවස විශේෂ කමිටුවක් පත්කළේය.

ඒ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ජාවක දී. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එච්.එම්.පී.හිටිසේකර, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ.රංජිත්, කම්කරු අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ආර්.රාජපක්ෂ, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග, තේ මණ්ඩලයේ සභාපති ඩබ්ලිව් එල් පී විජේවර්ධන සහ කම්කරු කොමසාරිස් ජනරාල් ජේ විමලවීර යන මහත්වරුන් එම කමිටුවට ඇතුළත් කිහිපදෙනෙක්. කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය, තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමය, තේ තැරැව්කරුවන්ගේ සංගමය හා තේ අපනයනකරුවන්ගේ සංගමය නියෝජනය කරන නියෝජිතයෙකු බැගින් ද කමිටුවට එක් කර තිබේ.

තේ කර්මාන්තය ආශ්‍රිත ගැටලුවලට විසඳුම් ලබා දෙමින් එහි උන්නතිය උදෙසා ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ගවලට එළඹීම සහ ශ්‍රමිකයින්ගේ සුබසාධන කටයුතු ඉහළ නැංවීම මෙම කමිටුව පත් කිරීමේ අරමුණයි. එහි වාර්තාව මසක් ඇතුළත ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ යුතුය.

ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න මහතා ද රාජ්‍ය නිලධාරීන් හා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *