ගංගාරාම නවම් මහා පෙරහර අද සිට දෙදිනක්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගරය අලංකාරවත් කරමින් 41 වන වරටත් පැවැත්වෙන මහා පෙරහැර මංගල්‍යය වන ගංගාරාම නවම් මහා පෙරහර අද(18) හා හෙට (19) දෙදින වීථි සංචාරය කෙරේ.

කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි ගංගාරාම නවම් මහා පෙරහර මෙවර 41 වැනි වරටත් සංවිධානය කර ඇත.

දෙස් විදෙස් බැතිමතුන්ගේ නොමද ගෞරවාදරයට පත් නවම් මහා පෙරහර සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලාගේ අගසව් පදවි සම්ප්‍රාප්තියත් බුද්ධ, ධම්ම, සංඝ යන තුණුරුවන් උදෙසා පවත්වන පුද පෙරහරක් ලෙසත් පැවැත්වෙන අතර මේ පෙරහැර සදහා අලි ඇතුන් හතලිස් පහකට ආසන්න සංඛ්‍යාවක් ගමන් ගනී.

නවම් පෙරහර සදහා තාලන් නැටුම, වේවැල් නැටුම, පතුරු නැටුම, තෙල්මේ, කුමාරපාළිය, ශුද්ධ මාත්‍රා, රිද්දි යාගය, සවරං නැටුම, බුම්මැඩි, සක් පිඹීම, අව් අතු හා මුරායුධ, රබන් කරකැවීම, පන්තේරු, මහසෝනා , උඩැක්කි, දෙවොල්, නාගරාක්ෂ, ආතා මුත්තා කෝලම, හනුමන්තා නැටුම ආදී වශයෙන් 145 කට අධික විචිත්‍රවත් පෙරහර අංග සහභාගී වීමට නියමිතය.

ගංගාරාමාධිපති කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි කිරින්දේ අස්සජි, පාලටුවාවේ ජිනරතන යන හිමිවරු නවම් මහා පෙරහර සංවිධාන කටයුතු මෙහෙයවන අතර පෙරහර වීදි සංචාරයේ දර්ශන www.gangaramaya.com ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *