හදිසි විදුලිය මිලදී ගැනීමක් ඉතිහාසයේ ප්‍රථම වතාවට නතර කරයි

(කොළඹ, ලංකාපුවත්) – ‘මේ වසරේ ජනවාරි මාසයේ අපි දැනුවත්ව මේ මිලදී ගැනීම අන්තිම මොහොත වෙනතුරු නොසිට ටෙන්ඩර් කැදෙව්වම, ඒක බෙහෝ දෙනෙක්ට ගැටළුවක් වුණා, ඇයි මේ කියලා. අපි කළේ ටෙන්ඩර් කැදවිම පමණයි. ඉංජිනේරුවන් සහ සාමාන්‍යාධිකාරි සමග සාකච්ඡා කරලා, ඒ අයට ගැටලු තිබුණත් අපි ඒ යෝජනා කර තිබූ හදිසි විදුලිය මිලදී ගැනීම ප්‍රථම වතාවට නවතා දැමුවා. , යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

ඒ මහතා මෙම අදහස් පළකලේ, වර්තමානයේ විදුලි ක්ෂේත්‍රයේ පවතින ගැටළුකාරී තත්ත්වයන් කිහිපයක් පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීම සදහා අමාතයාංශ පරිශ්‍රයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි,

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා….

‘මම මේ අමාත්‍යාංශය භාරගෙන දවස් 52 යි. ඒ දවස් 52 ඇතුලත අප අමාත්‍යාංශය භාරගන්න අවස්ථාවේ පැවති ගැටළු වලට ක්ෂණිකව උත්තතර දීමේ වැඩපිළිවෙලකට අපි යොමුවෙලා තිබෙනවා. මම මේ අමාත්‍යාංශය භාරගන්නවිට ලංවිම 2019 වර්ෂයේ අලාභය කෝටි 8700 කියලා තමයි සටහන් කරලා තිබෙන්නේ. මට කිසිසේත්ම මුදල් අමාත්‍යවරයාට බරක් වෙන්න බැහැ. ඒ නිසා මේ අලාභය, ලාභයකට පරිවර්තනය කරන්න අපි කතාකරගෙන යනවා. ඒ වගේම කිසිසේත්ම පාරිභෝගිකයාට බිල් වැඩිකිරීමක් කරන්නේ නැහැ කියලා එදත් කිව්වා. අදත් කියනවා. අපේ ප්‍රථම ටෙන්ඩරය වුණේ ගල් අගුරු ටෙන්ඩරයයි. ඒ තුළින් රු. මිලියන 725 ක ඉතිරියක් කරන්න හැකිවුණා.

හදිසි අවස්ථා කියලා හැම අවුරුද්දකම කතා කරන එක විහිළුවක්. අපි ඒක නැතිකල යුතුයි. 2012 සිට අද වනතුරු ජාතික පද්ධතියට විදුලිය එකතුවන ව්‍යාපෘති ස්ථාපිත කරලා නැහැ. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට අඩුම මුදලට විදුලිය උත්පාදනය කරන මාර්ගයක් සැකසිය යුතුයි. ලංකා විදුලිබල මණ්ඩලයේ අලාභයට හේතුවන එන්ජින් ග‍නාවක් තියෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ කැලණිතිස්ස විදුලි බලාගාරයෙන් රු. 50.46 කට ඒකකයක් නිපදවනවා. උතුරේ සහ ඒ පැතිවල රු. 68.00 කට ඒකකයක් නිපදවනවා. ඒ නිසා තමයි අපි හිතුවේ මේ වගේ අධික මිලක් වැය කරන නිෂ්පාදන නවත්තලා ඊට වඩා අඩු මිලක් වැයවන නිෂ්පාදනයන් ඇති කරන්න. ඒ තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ ලංවිම අලාභය අවම කිරීමයි.

ලංවිමට අයත් මෙගාවොට් 2868 ක් තියෙනවා. පුද්ගලික අංශයෙන් තවත් මෙගාවොට් 1300 ක් තිබෙනවා. මේ සියල්ලම මෙගාවොට් 4056 ක් තිබෙනවා. ඒකේ නිෂ්පාදන ඒකකයේ දල වියදම 22.76 ක්. එහෙම නිපදවන ඒකකයක් රු.16.26 ට වික්කම තිබෙන පරතරය තමයි අපේ අලාභය. මේක අඩු කරන එක තමයි මගෙත්, අමාත්‍යාංශ ලේකම්තුමාගේත් විදුලිබල මණ්ඩලයේත් එකම අභිලාශය. මීට වසර දෙකකට කළින් මේ අලාභයට තුඩුදෙන එන්ජින් දෙක හදුනාගෙන කටයුතු කළානම් අදවන විට ලංවිම අලාභය, ලාභයක් බවට පරිවර්තනය වෙන්න ඉඩ තිබුණා. එසේ නොවීමේ පාඩුව තමයි කෝටි හයදාස් එකසිය. අපේ ආණ්ඩුවට අවශ්‍ය වන්නේ ජනතාවට බරක් නොවී තිබෙන මිල අඩුකරන්න පුළුවන් වැඩපිළිවෙලක් ඇති කිරීමයි. ඒ වගේම ලංවිම සුරක්ෂිත කිරීමයි. ඒ වෙනුවෙන් ලංවිම සේවක පිරිස් සමග සාකච්ඡා කරලා, සුහදව යන ගමනක් අපි දැන් ආරම්භ කරලා තිබෙන බව මම කියන්න සතුටුයි.

මම මීට සති දෙකකට කළින් කමිටුවක් පත් කරලා, කාරුණික ඉල්ලීමක් කලා, මේ අමාත්‍යාංශයේ තිබෙන අඩුපාඩු ගැන පෙන්වන්න කියලා. ඒ අවස්ථාවේ බොහෝ දෙනෙක් සැක කලා. නමුත් අද අපි පෙන්නලා තිබෙනවා එදා කිව්වෙ මොකක්ද කියලා. එක්කෙනෙක් දෙන්නෙක් මේ අමාත්‍යාංශයේ පැය 24 ක් ඉදලා බලලා හරි ඇත්ත දේ හරි දේ තේරුම් ගත්තානම්, දේශපාලනය ඉලක්ක කරලා එක්කෙනෙක් දෙන්නෙක් කරන මේ අසාධාරණය, සාධාරණයක් බවට පරිවර්ථනය කරන්න පුළුවන් වෙයි කියලා, යැයි පැවසීය.

මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා…..

‘මේ රජය පත්වුණාට පසුව ගල් අගුරු මිලදී ගැනිමේ ක්‍රමවේදය සම්පූර්ණයෙන් වෙනස් කරලා. ලෝකයේ පවතින හොදම මිලදී ගැනීමේ ක්‍රමය බවට පත්කළා. සැපයුම්කරුවන් සියල්ල ලියාපදිංචි කළා. දිගුකාගීන සහ කෙටිකාලීන වශයෙන් කොටස් දෙකකට කැඩුවා. වසරකට ටෙන්ඩර් 5 ක් බවට පත්කළා. තරගය අඩුවුණා. දැන් ඕනෑම කෙනෙක්ට සැපයුම්කරුවෙක් වශයෙන් ලියාපදිංචි විය හැකියි. දැනට සැපයුම්කරුවන් 24 ක් සිටිනවා. මේ වනවිට අපි ටෙන්ඩර් 14 ක් ප්‍රධානය කරලා තිබෙනවා කිසිම ගැටලුවක් නොමැතිව. පසුගියදා අපි ඉන්දුනීසියානු වරායත් 25 වන සැපයුම්කරුවෙක් හැටියට එක්කරගත්තා. ඒ නිසා මිල අඩුවුණා මිලියන 700 ක්. අපේ අරමුණ පුළුවන් තරම් තරගය වැඩිකර මිල අවම කරගැනීමයි. ඒ නිසා මේ මාසයේ අපි රුසියාවේ වැනිනෝ වරායත් එක්කර ගත්තා. 26 වන සැපයුම්කරුවා ලෙස වැනිනෝ වරාය එක්කිරීමත් සමගම ඊලග ටෙන්ඩරයේදී ඩොලර් 11 ක් මිල අඩුවුණා. වැනිනෝ වරාය ලියාපදිංචි කලා විතරයි, මාධ්‍යවල ප්‍රචාරය වුනේ ඇමතිතුමා රුසියාවට ටෙන්ඩරය පිරිනැමුවා ඉන් මිලියන 6000ක් පාඩුයි කියලයි, මෙම වරාය ඇතුල් කිරීමෙන් පමණක් මිලියන 700ක් පමණ ලාභයක් ලැබුනා. ලංකාවේ අනාගතයේ කිසිම දිනෙක කිසිම ගැටලුවක් ඇතිනොවන පරිදි ගල් අගුරු මිලදී ගැනීම් ක්‍රමවේදයක් අපි සකසලයි තිබෙන්නේ කියා මම ඉතාමත් වගකීමෙන් කියනවා, යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *