කන්කසන්තුරේ සහ ද. ඉන්දියා වරායන් අතර මගී – භාණ්ඩ ප්‍රවාහන සේවා

(කොළඹ, ලංකාපුවත්) –වත්මන් ආණ්ඩුව උතුරේ සිදු කරන කඩිනම් සංවර්ධනය යටතේ කන්කසන්තුරේ හා තලෛයිමන්නාරමේ සිට දකුණු ඉන්දියාවේ ප්‍රධාන වරායවල් දක්වා මගී සහ බඩු භාණ්ඩ ප්‍රවාහන සේවාවන් ආරම්භ කිරීමේ මූලික කාර්යන් ආරම්භ වී ඇත.

කන්කසන්තුරේ වාරය නවීකරණ කටයුතු සඳහා දැනටමත් මුලපුරා ඇත.තලෛමන්නාරම ජැටිය ප්‍රතිසංස්කරණය කිරීමේ සැලසුම් ශ්‍රී ලංකා වරාය අධිකාරිය මඟින් නොබෝ දිනෙකින් සකස් කිරීමට නියමිතය. මේ කාර්යයන් සඳහා ඉන්දීය සහන ණය යෝජනා ක්‍රමය යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 45.27ක ප්‍රතිපාදන ලැබෙනු ඇත.

මගී ප්‍රවාහන නාවික සේවාවන් ආරම්භයත් සමඟ, ඉන්දීය හා ශ්‍රී ලංකා දුම්රිය සේවාවන් අතර ඒකාබද්ධ මෙහෙයුම් කටයුතු සිදු කිරීමේ හැකියාව පිළිබඳව සොයා බැලීමට ද ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගනු ඇත.

යුධ සමයට පෙර මේ අයුරින් ඒකාබද්ධ දුම්රිය සේවාවන් පැවති අතර, කොළඹ කොටුවේ සහ චෙන්නයි නුවර අතර එක් ප්‍රවේශ පත්‍රයකින් ගමන් කිරීමේ පහසුකම් දෙරටේම මගීන් වෙත සලසා තිබිණි.

මෙම සේවාවන් ආරම්භ කිරීමත් සමඟ අඩු වියදමින් දඹදිව වන්දනා ගමන් සඳහා සහභාගීවීමේ අවස්ථාව ද ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවට උදාවනු ඇත. කන්කසන්තුරේ වරාය නවීකරණයේ දී දැනට ඇති ජැටිය පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කෙරේ. වාණිජ මෙහෙයුම් කටයුතු සඳහා මීටර167ක් දිගැති, මීටර 22 ක් පළලැති නව ජැටියක් ද ඉදි කෙරෙණු ඇත. දියකඩනය ද ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය. කන්සන්තුරේ පැරණි සිමෙන්ති කම්හල් පරිශ්‍රයේ නව කර්මාන්ත කලාපයක් ද වරාය නවීකරණයට සමගාමීව ඉදිකිරීමට නියමිතය.

කන්කසන්තුරේ ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස ද සංවර්ධනය කරලීමේ සැලසුම් සංචාරක අමාත්‍යාංශය සකස් කරනු ඇත.තලෛමන්නාරමේ ජැටිය ආශ්‍රිතව ද නව සංචාරක හෝටල් හා ආපනශාලා ගණනාවක්ද, භාණ්ඩ ගබඩා හා ගුදම් ද ඉදිකිරීමේ සැලසුම් සකස්වෙමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *