දිළිඳුකම ගැන දත්ත විශ්වාස නැහැ – ජනපති මෛත්‍රී

(කොළඹ, ලංකාපුවත්) –මේ වසර මැතිවරණ වර්ෂයක් යැයි කතා කළද රජයේ නිලධාරීන් මැතිවරණ වර්ෂය දෙස නොබලා සංවර්ධනයට වෙන් කර ඇති මුදල් හරි හැටි ආයෝජනය කරමින් රටේ ආර්ථිකය නඟා සිටුවීමට කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කළේය.

ඊයේ (21) පෙරවරුවේ හම්බන්තොට දිස්ත්‍රික් පරිපාලන සංකීර්ණ ශ්‍රවණාගාරයේ පැවති දකුණු පළාත් ග්‍රාම ශක්ති වැඩසටහනේ ප්‍රගති සමාලෝචන සැසියකට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

“රටේ ආර්ථිකය ගැන හැමෝම දන්නවා. ඒ නිසා අපි පහත වැටුණොත් ඉතාම නරක දෙයක්. මේක තීරණාත්මක වසරක් නිසා ආර්ථික වර්ධන වේගය තව තවත් පහළට ගියොත් අපිට නැවත එය ඉහළට ගන්න වෙනවා. ඒ නිසා දුගී ජනතාවගේ නිෂ්පාදන ක්‍රියාවලිය මගින් ආර්ථික ශක්තිය ගොඩනැඟීමේදී කලට වෙලාවට ඉලක්කගතව මේ වෙන් කරලා තියෙන මුදල් ආයෝජනය කරලා එහි ප්‍රතිඵල ඒ ජනතාවටත් රටටත් ලබා දීම රජයේ නිලධාරීන්ගේ වගකීමක්.

“අප දන්නා පරිදි පසුගිය අවුරුදු 50ක් 60ක් මෙරටේ සෑම ආණ්ඩුවක්ම දුගී බවෙන් රට නිදහස් කරගැනීම සඳහා විවිධ ව්‍යාපෘති, විවිධ සංවර්ධන කාර්යයන් රාශියක් ආරම්භ කළා. ඒ සෑම ව්‍යාපෘතියකම ප්‍රතිඵල තිබෙනවා. ඇතැම් වෙලාවක ඉතා ඉහළ ප්‍රතිඵල තිබෙනවා ඇතැම් වෙලාවට යම් යම් දුර්වලතා තිබෙනවා. ඒ අතීත අත්දැකීම් අනුව තමයි අපි ග්‍රාම ශක්ති වැඩසටහන නිර්මාණය කළේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve + fifteen =