රජයේ සංවර්ධන වැඩ ජනතාව අතරට ගෙන යනවා

(කොළඹ, ලංකාපුවත්) – රජයක් වශයෙන් වසර හතරක් පුරා රටටත්, ජනතාවටත් ඉටු කර තිබෙන අනභිභවනීය සේවය පිළිබඳ ජනතාවගේ හදගැස්මට දැනෙන ප්‍රචාරයක් ලබාදීමට කැපවීමෙන් ක්‍රියා කරන බව කැබිනට් නොවන ජනමාධ්‍ය ඇමති සහ ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන මහතා පැවසීය.

විශාල සංවර්ධන වැඩ කොටසක් රජය රටට ඉටු කරමින් ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් සිදුකළ කාර්යභාරය පිළිබඳ ජනතාවට දැනෙන ප්‍රචාරයක් ලබාදීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ‍පරම පවිත්‍ර අපේක්ෂාව වී තිබෙන බව පැවසූ ඇමැති රුවන් විජයවර්ධන මහතා, අගමැතිතුමාගේ එම අපේක්ෂාව නොපිරිහෙළා ඉටුකරදෙන බවත් ප්‍රකාශ කළේය.

අතිවිශාල සංවර්ධන වැඩකොටසක් රජය වසර හතරක් පුරා රටට ඉටුකර දී මහජන සුබසිද්ධියට ක්‍රියා කළත් ඒ සඳහා මාධ්‍යයෙන් සැලකිය යුතු ප්‍රචාරයක් නොලැබෙන බවත් ඇමැති රුවන් විජයවර්ධන මහතා අවධාරණය කළේය.

ඇමැති රුවන් විජයවර්ධන මහතා මේ බව පැවසුවේ ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමැතිවරයා වශයෙන් නාරාහේන්පිට ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (25) සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කළ අවස්ථාවේදීය. ඇමැති රුවන් විජයවර්ධන මහතා සිය ධුරයේ රාජකාරි ඇරඹූ වහාම ජනමාධ්‍යවේදීන් හමුවී අදහස් පළ කිරීම තම ප්‍රථම කාර්ය බවට පත්කර ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − eight =