බොල්ගොඩ ගඟ ආශ්‍රිත කඩොලාන විනාශ කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) – පිහිනුම් තටාංගණයක් ඉදිකිරීම සඳහා මොරටුව විශ්ව විද්‍යාලයේ බොල්ගොඩ ගඟ ආශ්‍රිත කඩොලාන පරිශ්‍රයේ අක්කරයක් පමණ අත්තනෝමතික ලෙස විනාශ කර තිබේ.

මොරටු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාගේ හා මහාචාර්යවරයකුගේ අවශ්‍යතාව අනුව කඩොලාන ශාක විනාශ කරමින් නිසි ක්‍රමවේදයකින් තොරව සිදු කරන මෙම වැඩපිළිවෙල පරිසර හෝ වෙනත් වගකිව යුතු ආයතනවල නිර්දේශ ‍නොතකා හරමින් ක්‍රියාත්මක වේ.

බොල්ගොඩ ගඟ ආශ්‍රිත ප්‍රදේශයේ සම්පතක්ව පවතින කඩොලාන සහිත පාරිසරික වැදගත්කමකින් යුත් භූමි ප්‍රමාණය මෙම අත්තනෝමතික ක්‍රියාවන් මඟින් විනාශයට පත්වන බව පරිසරවේදීන් පෙන්වා දී ඇත. ලෝකය මුහුණ දෙමින් සිටින කාලගුණික විපර්යාසයට පරිසරයේ ඇති කාබන් උරා ගැනීමේ හැකියාව ඇති කඩොලාන ඉතා ඵලදායී පිළියමක් වන අතර පරිසරයේ කාබන් උරා ගැනීම හැරුණු විට කඩොලාන වනාන්තර දුර්ලභ මත්ස්‍ය වර්ග වල පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් වේ. දිවයින මුහුණ දෙන කුණාටු සහ සුනාමි තත්වයන්ගෙන් සිදු වන හානිය අවම කර ගැනීමටද කඩොලාන දායක වෙයි.

මොරටුව විශ්ව විද්‍යාලය විසින් මෙසේ විනාශ කර දමන්නේ කඩොලාන සංරක්ෂණය ශ්‍රී ලංකාවේ පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට ද රජය විසින් උපදෙස් ලබා දී ඇති වටපිටාවකය.

එසේම පසුගිය වසරේ ක්‍රියාත්මක කෙරුණු ආසියාවේ කඩොලාන වනාන්තර වල ආර්ථික වටිනාකම මැන බැලීමේ සමීක්ෂණයක් තුළින් ඉදිරිපත් වූ තොරතුරු අනුව කඩොලාන හෙක්ටයාරයක ආර්ථික වටිනාකම ඇමෙරිකානු ඩොලර් එක් ලක්ෂ අනූ හතරදහසක් වන බව අනාවරණය කරනු ලැබීය. ශ්‍රී ලංකාව පුරා තිබෙන සියලුම කඩොලාන වනාන්තර සුරැකීම සඳහා නිර්මාණය කර ඇති පස් අවුරුදු සැලැස්මක් පසුගිය වසරේ එළි දක්වනු ලැබීය.

මෙවන් පරිසර විනාශයක් විශ්ව විද්‍යාලයක් තුළ සිදුවීම කිසිසේත්ම අනුමත කළ නොහැකි නමුත් කිසිදු බියක් සැකක් නොමැතිව මොරටුව විශ්ව විද්‍යාලය විසින් එය අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නේ යම් කිසි දේශපාලන ශක්තියක් නිසා දැයි සිසූහු ප්‍රශ්න කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *