අඩු මුදලට විදුලිය උත්පාදන ක්‍රියාමාර්ගයකට රජය පිවිසෙයි

(කොළඹ, ලංකාපුවත්) – අඩු මුදලට විදුලිය උත්පාදන ක්‍රියාමාර්ගයකට රජය දැන් අවතීර්ණ වී ඇති බවත් අපි විදුලිබල හිගයක් ඇති නොවන අයුරින් කටයුතු කරන බවත් විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානයක මහතා පවසයි.

පසුගියදා කෝට්ටේ ඔබේසේකරපුර පැවති එ.ජා.ප. යේ ඉදිරි වැඩපිළිවෙල පිළිබදව සාකච්ඡා කිරීම සදහා දේශපාලන ක්‍රියාකාරීන් හමුවූ අවස්ථාවකදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

“මට පේනවා මගේ අමාත්‍යාංශය තුළින් රටම අදුරෙන් ආලෝකය කරා ගෙනියන්න පුළුවන්. නමුත් මේක කරන්න යද්දි විශාල බාධා ඇතිවුණා. අහිංසක පුද්ගලයෙක් විදුලිය ඉල්ලද්දි, නිවාස අයිතිය නැති නිසා, මුදල් නැති නිසා විදුලිය නොදී හිටිය කාලයක් තිබුණා. මට අවශ්‍ය වුනේ මේ දෙවල් වෙනස් කරන්න. මනුෂ්‍යයෙක් ජීවත් වෙනවානම් ඔහුට වෙනින් කිසිම දෙයක් තහවුරු කරන්න අවශ්‍ය නැහැ. විදුලිය ලබා දෙනවා. ආර්ථික අපහසුතා තියෙනවානම්, මාස 24 කින් ඒක ගෙවන්න අවස්ථාව දීලා විදුලිය ලබාදෙන්න මම කටයුතු කළා. මේ ආකාරයෙන් ලංකාවේ සෑම කොනකටම විදුලිය දෙන්න මම පොරොන්දු වෙලා තිබෙනවා.

මම අමාත්‍ය ධූරය බාරගැනීමෙන් පසු ඇතිවූ ප්‍රථම ගැටළුව තමයි හදිසි විදුලිය මිලදී ගැනීම. මෙය මීට වසර ගණනාවකට ඉහත පටන් සිදු කෙරුන ක්‍රියාවක්. නමුත් මම තීරණය කලා මේ හදිසි විදුලිය මිලදී ගැනීම අනවශ්‍යයි කියලා. අපට අවශ්‍ය වන්නේ ජනතාවගේ විදුලිබිල අඩු කිරීමයි. අපි වැඩි මිලකට විදුලිය නිෂ්පාදනය කරන නිසා තමයි අපිට ගැටළු ඇතිවෙලා තිබෙන්නේ. අපි දැන් ලංවිම ඉංජිනේරුවන් සමග එකතු වෙලා ඒ සදහා විසදුම් සොයාගනිමින් සිටිනවා. ඩීසල් මාෆියාව නැති කරලා, අඩු මුදලට විදුලිය උත්පාදන ක්‍රියාමාර්ගයකට අපි දැන් අවතීර්ණ වෙලා තියෙනවා. අපි විදුලිබල හිගයක් ඇති නොවන අයුරින් කටයුතු කරනවා කියලා මම වගකීමෙන් කියනවා.“ යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 3 =