සනත් ජයසූරියට වසර 2ක ක්‍රිකට් තහනමක්

(කොළඹ, ලංකාපුවත්) –ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති උල්ලංඝනය කළ බවට චෝදනා තහවුරු වූ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හා හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාට වසර 2ක ක්‍රිකට් තහනමක් පැනවෙයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය මගින් ශ්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන ක්‍රිකට් තරග පාවාදීම් සම්බන්ධ කරන පරීක්ෂණවලදී සනත් ජයසූරිය මහතා ජාත්‍යන්තර ක්‍රිකට් දූෂණ මර්දන කමිටුවට සහයෝගය නොදීම හා පරීක්ෂණවලට බාධා කොට පරීක්ෂණ පමා කිරීමේ චෝදනා මත මෙම තහනම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (26)ප්‍රකාශයට පත් කළේය.

ජයසූරිය මහතාට අයත් ජංගම දුරකතනය පරීක්ෂණ සඳහා භාර දෙන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙයට මාස කිහිපයකට පෙර කළ ඉල්ලීම කලට වේලාවට ඉටු නොකිරීම මෙම තහනම පැනවීමට හේතු වී ඇත.

අදාළ චෝදනා සනත් ජයසූරිය මහතා පිළිගැනීම හේතුවෙන් ඔහුට වසර දෙකක ක්‍රිකට් තහනමක් ලබා දීමට තීරණය කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයක දැක්වේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ විරෝධී නීති සංග්‍රහයේ 2.4.6 වගන්තියට අනුව අසමත් වීම හෝ ප්‍රතික්ෂේප කිරීම යටතේ පිළිගත හැකි හේතුවක් නොමැතිව දූෂණ විරෝධී ඒකකය මෙහෙය වූ පරීක්ෂණවලට සහයෝගය නොදැක්වීම හා පරීක්ෂණයට අදාළ තොරතුරු සහ ලේඛන නිවැරදිව සහ සම්පූර්ණ ලෙස ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම, 2.4.7 වගන්තියට අනුව දූෂණ විරෝධී නීතිය යටතට ගැනෙන දූෂණයක් හෙළිකර ගැනීම සඳහා පරීක්ෂණයට අදාළ හෝ පරීක්ෂණයේ සාක්ෂි විය හැකි වාර්තාවක් හෝ වෙනත් තොරතුරක් ආවරණය කිරීම, වෙනසකට භාජනය කිරීම හෝ විනාශ කිරීම, දූෂණ විරෝධී ඒකකය මගින් ක්‍රියාත්මක කළ පරීක්ෂණයට බාධා කිරීම, ප්‍රමාද කිරීම යන වගන්ති උල්ලංඝනය කළ බවට සනත් ජයසූරිය මහතාට චෝදනා එල්ලවී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × five =